බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ දෙරට අතර පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 200කින් ජයගනිමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 351ක් රැස් කළහ. එහිදී ශුබ්මන් ගිල් ලකුණු 88ක්, ඉෂන් කිෂන් ලකුණු 77ක්, හර්දික් පාණ්ඩ්‍යා නොදැවී ලකුණු 70ක් සහ සංජු සැම්සන් ලකුණු 51ක් ලබාගත්හ.

අනතුරුව ලකුණු 352ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 35.3ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 151ක් පමණි. එහිදී ගුටාකේෂ් මොටී ලකුණු 39ක්, අලික් අතානේස් ලකුණු 32ක් සහ අල්සාරි ජෝසප් ලකුණු 26ක් රැස් කළහ.

පන්දු යැවීමේදී ශර්දුල් තාකූර් කඩලු 04ක් සහ මුකේෂ් කුමාර් කඩුලු 03ක් දවාගත්හ. දෙරට අතර පැවැති පළමු තරගය ඉන්දීය කණ්ඩායම ජය ගත් අතර දෙවැනි තරගය ජයගැනීමටයි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය.

දෙරට අතර පැවැති තෙවැනි තරගයේ වීරයාට හිමි සම්මානය ශුබ්මන් ගිල් දිනාගත් අතර, තරගාවලියේ වීරයාට හිමි සම්මානය ඉෂන් කිෂන්ට හිමි විය.