එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික වටයේ තරගවලදී හා සුපිරි 06දෙනාගේ තරග වටයේදී බටහිර ඉන්දීය කොදෙව්වන් ලද පරාජයන්ට හේතුව සිය රටේ ක්‍රිකට් පරිපාලකයන්ගේ දුර්වල තීන්දු තීරණ බව කොදෙව් හිටපු වේග පන්දු ක්‍රීඩක ඉයන් බිෂොප් පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ ස්කොට්ලන්තය සමග පැවති තරගයද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත්වීමෙන් පසුව ESPNcricinfo සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදීය.

2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීම අතිශය අසීරු අඩියක සිටින කොදෙව්වන් හේතුවෙන් සිය රටෙහි ක්‍රීඩා ලෝලීන්ට එය මහත් වේදනාවක් බවද බිෂොප් සඳහන් කළේය.

කොදෙව් සංචිතය තුළ මනා දක්ෂතාවෙන් පරිපූර්ණ ක්‍රීඩකයන් සිටින බවත්, ඔවුන්ගෙන් නිසි ලෙස ප්‍රයෝජනයක් ගැනීමට කැරිබියන් ක්‍රිකට් බලධාරීන් අපොහොසත් වී ඇති බවත් බිෂොප් පෙන්වා දෙයි.

මින් ඉදිරියට ජාත්‍යන්තර තලයේ කොදෙව් කණ්ඩායමක් ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැකබලා ගැනීමට අවශ්‍ය නම්, වහාම මනා කළමනාකාරීත්වයකින් යුතුව තීරණ සහ සංශෝධනයන් ගත යුතු බවද බිෂොප් වැඩිදුරත් එම සාකච්ඡාවේදී අවධාරණය කළේය.