සංචාරක බටහිරි ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැති වයස අවුරුදු 19 පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. තරග 03කින් සමන්විත තරගාවලියේ අවසන් තරගය අද දඹුල්ල ජාත්‍යයන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අද තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 304ක් රැස් කළේය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා ලකුණු 155ක් රැස් කළ අතර, ඊට හතරේ පහර 17ක් සහ හයේ පහර 04ක් ඇතුළත් විය. කොදෙව්වන් වෙනුවෙන් නාතන් එඩ්වඩ් කඩුලු 03ක් බිඳහෙළීය.

අනතුරුව ලකුණු 305ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කොදෙව්වන් පන්දුවාර 40.3 අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 253ක් පමණි. එහිදී ජෙවෙල් ඇන්ඩෘ ලකුණු 80ක් රැස් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ළහිරු කඩුලු 03ක් බිඳහෙළීය. මේ අනුව ලකුණු 51ක් ජයක් ශ්‍රී ලංකාවට හිමි විය.

තරග 03කින් යුතු තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත් අතර, දෙවැනි තරගය ජය ගත්තේ කොදෙව් කණ්ඩායමයි.

මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය එළඹෙන 05වැනිදා ආරම්භ වීමට නියමිතය.