ොළඹ නගරයේ අනතුරුදායක ගස් 300ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ගස් ඉවත් කිරීමේ වැඩසටහන සඳහා සේවකයන් පුහුණු කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයේ මැදිහත්වීමෙන් කරන බවත් කොළඹ නගර සභා කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසා ඇත.

කොළඹ නාගරික ප්‍රජාවට අනතුරුදායක ගස් ඉවත් කිරීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ වෙනුවෙන් නගර සභා සේවකයන් පුහුණුවකට යොදවා ඇතැයි ඇය සඳහන් කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 6දා කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇය මේ බව පවසා ඇත.

කොළඹ ගස් අධ්‍යයනයට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විශේෂඥ පරීක්ෂකවරයකු ගෙන්වා සහාය ලබාගෙන ඇති බවත් ඔහු විසින් ගසෙන් ගසට ගොස් පරීක්ෂා කිරීමේ කටයුතු කරනු ලබන බවත් කොමසාරිස්වරිය සඳහන් කර තිබේ.

ගස් කැපීමේ උපකරණ සැලකිය යුතු ප්‍රමාණයක් නගර සභාව සතුව පවතින අතර අවශ්‍ය නම් පෞද්ගලික අංශය ද සම්බන්ධ කර ගනිමින් අදාළ සහය ලබා ගැනීමට කටයුතු කරන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.