ගාසා තීරයේ මෙහෙයුම්වල නිරත සෙබළුන් දහස් ගණනක් ඉවත් කරගන්නා බව ඊශ්‍රායලය පවසයි.

බල සේනා 5ක දහස් ගණනක භට පිරිසකට විවේකයක් ලබාදීමේ අරමුණින් ඔවුන් යුධ භූමියෙන් ඉවත් කරගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් එරට හමුදාව සඳහන් කර ඇත.

ඒ අතරතුරදී එම භට පිරිස් සඳහා හමුදා පුහුණුවක් ලබාදීමට ද නියමිත බව එම නිවේදනයේ සඳහන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේනමුත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාවෙන් ඊශ්‍රායලයට එල්ල වන දැඩි පීඩනය හමුවේ ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවය.

ඔක්තෝබර් 7 වැනි දා සිට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ, ගාසා තීරයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 22,000කට ආසන්නයි.

එවැනි පසුබිමක ඊශ්‍රායලයේ යුධ සැලැස්ම ඊශ්‍රායලයට අඛණ්ඩව සහයෝගය ලබා දුන් අමෙරිකාවේ ද අවධානයට ලක්ව තිබේ.