මිල්ටන් මල්ලවාරච්චි කියන ආදරණීය ගායන ශිල්පියා පැණි කුරුල්ලන්ටත් නිල් කොබෙයියන්ටත් ආරාධනා කළේ අසූව දශකය තරම් ඈත කාලයක දි.පුංචි සන්දියේ නම් මට හිතුනෙම මේක ළමා ගීතයක් වෙන්න ඇති කියලා.ඒත්,ගී පද රචනයක වචන ඇතුලෙ කිමිදිලා,ඒවයෙ හතර මායිම් හොයන්න පුරුදු වුණාට පස්සෙ මට තේරෙන්න ගත්තා ළමා ගීතයකින් ඔබ්බට ගිය වෙනත් ගැඹුරක් කරා මේ ගීතය අපව රැගෙන යන බව.ඒ ගැඹුරෙදි අපිට මුණ ගැහෙන අර්බුදය එදාටත් වඩා අදටයි සමීප.ඒ නිසාමයි මට හිතුනෙ ටිකක් පරණ වුනත් මේ ගීතය ගැන අලුතින් කතා කළාට කමක් නෑ කියලා.
පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ
ගිය තැනකින් වරෙල්ලා
පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සන්දියේ
දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ
පේනමානෙකින් පියාසර කරන්න කියලා පැණි කුරුල්ලන්ට නිල් කොබෙයියන්ට අමුතුවෙන් ඇරයුම් කරන්න අවශ්‍ය නෑ.අමුතුවෙන් බුලත් දෙන්න උවමනා නෑ.කොහොමත් එයාලා ඉන්නෙ අපි ට පේන මානෙ,ගෙවුයනේ,ගම්මානෙ,වදුලෙ,පදුරෙ,ගොමුවෙ,ලන්දෙ,කන්දෙ,බැද්දෙ.ඒත්,මේ ගීතයේ ඉන්න වැඩිහිටියට සිද්ද වෙලා තියෙනවා “අපේ පුංචි එකාට පේන්න අනේ උඹලා මේ පැත්තට වරෙල්ලා” කියලා පින්සෙණ්ඩු වෙන්න.
ඇයි එහෙම වෙලා තියෙන්නෙ?එයාලා මේ පුංචි එකා එක්ක උරණ වෙලා ද?
අඹ දඹ නාරං ගස් යට
කජු පුහුලන් මොරගස් යට
අපි වගේම ලුණු පනින්න
කැටපොල විදලා
පුංචි පුතා එන්න කලින්
උන් හිටි තැන් නැති වුණු දා
ගහට ගහක් මුණ ගැහෙන්න
බැද්ද ගිහිල්ලා
මේ ගීතයේ එන වැඩිහිටියා සීයා කෙනෙක් ද,තාත්තා කෙනෙක් ද කියන්න අපි දන් නෑ.ඒ කවුරු වුණත් එයාගෙ ළමා කාලය ගත වෙලා තියෙන්නෙ අඹ දඹ නාරං ගස් යට.කජු පුහුලන් මොර එක්ක.ඒක සොබා දහමට ගොඩාක් සමීප ළමා කාලයක්.ඒ දරුවන් ගෙ බොහෝ ක්‍රියාකාරකම් පදනම් වුණෙත් ගහ කොළ ඇළ දොළ සතා සීපාවත් එක්ක.
ඒත් පුංචි පුතා ට එන්න සිද්ද වෙලා තියෙන්නෙ එහෙම යුගයක නෙවෙයි.එහෙම පොළවකට නෙවෙයි.එයා ඉන්න ඉසව්වෙ අඹ දඹ නාරං නෑ.කජු පුහුලන්,මොර බේතකටවත් හොයාගන්න නෑ.මේ ඇවිල්ලා ගහ කොළටත් උන් හිටි තැන් අහිමි කරපු කුරිරු යුගයක්.ගහට ගහක් හමුවෙන්නෙ කොතනදිද කියලා අපි දන්නවා.මොරටු යන්න නම් ගහකට සිද්ද වෙනවා කියතකට ඇස් හිස් මස් දන් දෙන්න.
එතකොට දැන් පැහැදිලියි නේද පැණි කුරුල්ලන්ට නිල් කොබෙයියන්ට අමුතුවෙන් ආරාධනා කරන්න අවශ්‍ය වෙන හේතුව?මල් සුවදක් නැති,පලතුරු රසයක් නැති,ගහක් කොළක් නිලක් නැති නිසරු ඉසව්වක එයාලා ඉන්නෙ නැහැ.එයාලට ඉන්න බැහැ.
ඇලේ වතුර නිල් කැටේට
දණ්ඩි කොරළි යන වටේට
කිමිදි කිමිදි පීනන්නට
දියබුං ගහලා
පුංචි පුතා එන්න කලින්
කළු දිය දහරා හැලිලා
ඇළට පාර අමතක වී
මං මුලා වෙලා
පුංචි පුතාට අහිමි වෙලා තියෙන්නෙ අතිශයින්ම සුන්දර ලෝකයක්.ඒ ලෝකය මොනතරම් චමත්කාරජනක ද කියල දන්නෙ අර වැඩිහිටියා.දිය බුං ගහගෙන නිලට නිලේ ගලන වතුර පාරක් දැන් නැහැ.ඒක ජරාවාස වෙලා.කෙට්ටු වෙලා.සිදිලා.ඉතින් දණ්ඩි කොරළි හැබැහින් අදුනගන්න පුංචි පුතාට අවස්ථාවක් උදා වෙන්නෙම නැහැ.
ගීත රචකයා ඒක කියන්නෙ “ඇළ ට පාර අමතක වී මං මුලා වෙලා”කියලා.
ප්‍රබල කාව්‍යාත්මක යෙදුමක්.
ලූෂන් මහත්තයා මේ ගීතය රචනා කරන කාලෙ තමයි ලංකාව ටික ටික නාගරීකරණය වෙන්න ගත්තෙ.නිල්ල නිලන පරිසරය උදුරමින් කොන්ක්‍රීට් වනාන්තර නිර්මාණය වෙන්න ගත්තෙ.ඒ භෙෘතික සංවර්ධනයේ නියත වින්දිතයො බවට පත් වුණේ පැණි කුරුල්ලො,නිල් කොබෙයියො,දණ්ඩි,කොරළි විතරක් නෙවෙයි.මේ රටේ මුළුමහත් අනාගත පරම්පරාවම.මේ ගීතයේ එන පුංචි පුතා නියෝජනය කරන්නෙ ඒ අනාගත පරම්පරාව.
සින්දුව ලිව්වෙ අසූව දශකයෙ.මේ දෙදහස් විසි දෙක.සංවර්ධනයේ නාමයෙන් පරිසර පද්ධතිය විනාශ මුඛයට ඇද හෙළීම අද වෙනදටත් වඩා වේගවත්.ඒ නිසයි මම මුලදිම කිව්වෙ,මේ ගීතය එදාටත් වඩා අදටයි සමීප කියලා.කොහොමත් තුන්කල් දකින්න පුලුවන් කලාකරුවන්ගෙන් නිර්මාණය වෙන්නෙ කාලයේ සීමාව ඉක්මවා ගිය නිමැවුම්.ලූෂන් ලා මිල්ටන් ලා කියන්නෙ එවැනි කලාකරුවො.ඒ නිසයි ඔවුන් අපේ හදවත් තුළ තවමත් විරාජමාන.
නලින්ද සංජීව ලියනගේ