ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට තමන් සහාය දෙන නමුත්, ගාසා සටන්කාමීන්ට පහර දෙන මුවාවෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ පළාත් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම්, එය ‘බරපතල වරදක් වේවි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරනවා. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ ඇමෙරිකාවේ 60 මිනිටිස් වැඩසටහන සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය මේ වනවිට ගොඩබිමින්, මුහුදින් සහ ගුවනින් ප්‍රහාර එල්ල කරන අතර, ඒ ගාසා තීරයේ උතුරු කොටසේ සිටින පලස්තීන වැසියන්ට වහා දකුණු කොටසට යන්නැයි පැය 24 ක් කල් දීමෙන් ද පසුව බවයි වාර්තා වන්නේ.

හමාස් සටන්කාමීන් දේශසීමා හරහා ඊශ්‍රායලයට පහර දීම ආරම්භ කළේ පසුගිය 7 වැනිදා වන අතර එම අවස්ථාවේ ඊශ්‍රායල වැසියන් 150 දෙනකු හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබු බවත්, ඔවුන් ගාසා තීරයේ උතුරු කොටසට රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ.

ප්‍රහාර එල්ල කිරීමට පෙර ගාසා තීරයේ සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථානවලට යන්න ඉඩ ලබා දෙන්නැයි තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඉල්ලීමක් කළ බවත්, නෙදන්යාහු ඊට කැමැත්ත පළ කළ බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

මේ අතර හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේ දී ඊශ්‍රායලයට සහාය දක්වන බව පවසමින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායලයේ සංචාරයකට යෑමට සූදානමින් සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තාකර කරන අතරේම මේ වනවිටත් ඊශ්‍රායලයට සහාය දැක්වීමක් ලෙස ඇමෙරිකන් නාවික හමුදාවේ ප්‍රබල යුද නැව් දෙකක් මධ්‍යධරණී මුහුදට සේන්දු වී ඇතැයි ද වාර්තා වේ.