සිංහල සිනමාවේ ප්‍රහසන චිත්‍රපට අතර, ඉහළින්ම වැජඹෙන සිකුරු හතේ සහ සුහද කොකා යන අපූරු චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ගිරිරාජ් කෞෂල්‍යගේ තුන්වන සිනමා නිර්මාණය වන කතුරු මිතුරු චිත්‍රපටය හෙට (22) සිට දිවයින පුරා සිනමාහල්වල දී තිරගත කිරීමට නියමිතව තිබෙනවා.

අප අතරින් සමුගත් සම්මානනීය රංගධර ජයලත් මනෝරත්නයන් සමඟ මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, මොරීන් චාරුණී, ජයනි සේනානායක, සම්පත් ජයවීර, ගිහාන් ප්‍රනාන්දු ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වන කතුරු මිතුරු චිත්‍රපටයෙන්, වියෝ වූ ආදරණීය කලාකරු විජය නන්දසිරිගේ පුත් රසාංජන නන්දසිරි සහ නවක නිලි සඳනි හෙට්ටිගොඩ රිදී තිරයට හඳුන්වා දීමට නියමිතයි.

කතුරු මිතුරු චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු 2018 වසරේදී අවසන් කළද, වරින් වර රට තුළ ඇතිවූ අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් චිත්‍රපටයේ ප්‍රදර්ශනය කල් දැමීමට සිදු වූ බව, පසුගිය දා පැවති මාධ්‍ය දර්ශනයේදී අදහස් දක්වමින් අධ්‍යක්ෂක ගිරිරාජ් කෞෂල්‍ය පවසා තිබුණා. ආලංකුලම ෆිල්ම්ස් වෙනුවෙන් බාසුර සිරිවර්ධනගේ නිෂ්පාදනයක් වන කතුරු මිතුරු රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හැඩවී තිබෙනවා.