ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානා පසුගිය දින කිහිපයේදී ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 195 ක පාඩුවක් සිදුව ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසා ඇත.

මේ හේතුවෙන් මේ අවස්ථාවේදී සේවකයන්ට කිසිම දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි බවද ඔහු සඳහන් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවාවට ඇති අයිතීන්ද රැකගෙන වෙනත් ගුවන් සේවාවන් මෙම ගුවන් ගමන් වාර සීමා පැවැත්වීමට අයිතිය ලබාදීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා ඊයේ (2) පැවැති ගුවන් සේවයේ පාලනාධිකාරිය සහ සියලුම වෘත්තීය සමිති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් අටක් පමණ එකවර ප්‍රමාදවීම හේතුවෙන් ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාවයන් පිළිබඳව කරුණු විමසීම සඳහා මෙම සාකච්චාව පවත්වා ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවය ඇමරිකානු ඩොලර් කෝටි 100 කට වැඩි ණයක් ද ඒ සඳහා පොළියක්ද ගෙවිය යුතු බව පැවසූ අමාත්‍යවරයා ගුවන් සේවාවේ ඵලදායිතාව වැඩි කළහොත් ඵලදායිතාව පදනම් කරගෙන යම් ගෙවීමක් කළ හැකි බවද වෘත්තිය සමිති නියෝජිතයන්ට දැනුම් දී ඇත.