කුඹුරු සිතියම්ගත කිරීම සඳහා ගොවීන්ගෙන් යම් පුද්ගලයෙක් හෝ නිලධාරියෙක් මුදල් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළහොත් වහාම දිස්ත්‍රික් ගොවිජන සහකාර කොමසාරිස්වරයාට දැනුම්දෙන ලෙසත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවිජනතාවට දැනුම් දී ඇත.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම දිනවල රටපුරා ඇති කුඹුරු සිතියම්ගත කිරීම ආරම්භ කර තිබේ.

මෙම කටයුතු සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරන අතර, අදාළ කුඹුරු ඉඩම් හිමි ගොවීන්ගෙන් කිසිඳු මුදලක් අය කරන්නේ නැත.

නමුත් ඇතැම් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් ගොවීන්ගෙන් මුදල් අයකරන බවට වාර්තා වී ඇත.

ආසන්න සිදුවීම වශයෙන් පොල්පිතිගම රඹේ ප්‍රදේශයේ ගොවීන්ගෙන් මේ සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් මුදල් ලබාගෙන ඇති බවට වාර්තා වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව වහාම විමර්ශනයක් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ .

GEO Goviya යෙදවුම ඔස්සේ දැනට අප රටේ කුඹුරු ඉඩම් කොපමණ ප්‍රමාණයක් ඇත්ද යන්න සහ කුඹුරු ඉඩම්වල සත්‍ය ප්‍රමාණය මැනීම සඳහා මෙම යෙදවුම ඔස්සේ කුඹුරු සිතියම්ගත කිරීම කරනු ලබයි.