“පූජා” යන නමින් කාන්තාවක් ලෙස පෙනී සිටිමින් (Call girl) දුරකථනයෙන් සිය සුමිහිරි හඬින් “පිරිමින් පිනවීම” ට ගොස්, එම පිරිමින් සැබෑවටම පෙම් කිරීමට පටන්ගැනීම නිසා අතොරක් නැති අකරතැබ්බයන්ට මුහුණ දෙන්නට සිදුවුණු තරුණයා ඔබට මතකද? 2019 වසරේදී තිරගත වූ Dream Girl චිත්‍රපටය නැරඹූ රසිකයින්ට නම් ආයුෂ්මාන් කුරාණාගේ එම රංගනය කිසිසේත්ම අමතක වන්නට හේතුවක් නැහැ. එහෙනම්, මේ ආරංචිය ගැහැණු පිරිමි භේදයකින් තොර ව  Dream Girlට ආදරය කරන සියළුම රසිකයින් වෙනුවෙනුයි.

ආයුෂ්මාන් කුරාණා කියන්නේ බොලිවුඩයේ තවත් අති දක්ෂ චරිතාංග නළුවෙක්. ඔහුට ලැබුණු චරිත බොහොමයක් සාම්ප්‍රදායික නොවන වගේම එකිනෙකට වෙනස් අභියෝගාතමක චරිත වුණත් ඒ සියළුම අභියෝග පහසුවෙන්  ජයගන්න ආයුෂ්මාන්ට හැකියාව ලැබුණේ ඔහුගේ දක්ෂතාවය නිසාමයි. ඔහුගේ පළමු චිත්‍රපටය වුණු Vicky Donor (2012) චිත්‍රපටයේ ශුක්‍රාණු දායකයෙකුගේ චරිතයක් නිරූපණය කළ ආයුෂ්මාන්, Shubh Mangal Zyada Saavdhan (2020) චිත්‍රපටයේ සමලිංගික තරුණයෙකු ලෙසත් Chandigarh Kare Aashiqui (2021) චිත්‍රටයේ සංක්‍රාන්ති ලිංගික තරුණියකගේ පෙම්වතා ලෙසත් ආන්දෝලනාත්මක චරිත නිරූපණය කළා. Andhadhun (2018) චිත්‍රපටයේ අන්ධ පුද්ගලයෙකු වූ ආයුෂමාන්,  Bala (2019) චිත්‍රපටයේ තට්ටය පෑදීම හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයෙකු ලෙසත් An Action Hero (2022) චිත්‍රපටයෙන් බොලිවුඩයේ සුපිරි ක්‍රියාදාම නළුවකු ලෙසත් රසිකයින් හමුවට ආවා.

එලෙස එකිනෙකට වෙනස් චරිත රැසක් රිදී තිරයේ මැවූ ආයුශ්මාන්, Call girl කෙනෙකුගේ චරිතය නිරූපණය කළ විනෝදාත්මක චිත්‍රපටයක් වූ Dream Girl (2019) රසිකයින්ගේ ඉතා ඉහළ ප්‍රතිචාර ලබාගත් චිත්‍රපටයක් වුණා. සෙසු බොලිවුඩ් චිත්‍රපටවලට සාපේක්ෂව ඉන්දියානු රුපියල් කෝටි 28ක් වැනි අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරන ලද Dream Girl චිත්‍රපටය බොක්ස් ඔෆිස්හි ඉන්දියානු රුපියල් කෝටි 200 ඉක්ම වූ ආදායමක් ලබා ගැනීමට සමත් වී තිබුණේ එම වසරේ වැඩිම ආදායම හිමිකරගත් චිත්‍රපට ලැයිස්තුවේ  11 වන ස්ථානයේ රැඳෙමින්.  එමෙන්ම චිත්‍රපටයේ එන Dil ka telephone ගීතය තවමත් රසිකයින් අතර ඉතාමත් ජනප්‍රියයි.

එම සාර්ථකත්වය නිසාම Dream Girl නැවතත් රසිකයින් හමුවට ගෙන එන්නට එහි නිෂ්පාදකයින් වන ඒක්තා කපූර් සහ ශෝභා කපූර් තීරණය කර තිබෙනවා. රාජ් ශාන්දිල්යා විසින්ම අධ්‍යක්ෂණය කරන Dream Girl දෙවැන්නේ දී සුමියුරු කාන්තා හඬින් පමණක් නොව, මනමත් කරවන රුවින්ද “පූජා” රසිකයින් පිනවීමට නියමිතයි. අගෝස්තු 25 සිට තිරගත කිරීමට සැලසුම් කර ඇති Dream Girl 2 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඊයේ අන්තර්ජාලයට නිකුත් කර තිබුණා. එය නිකුත් කර ගත වූ පළමු පැය 16 තුළ මිලියන 16ක් ඉක්මවූ නැරඹුම් වාර සංඛ්‍යාවක් සටහන් වී තිබුණේ චිත්‍රපටයේ සාර්ථකත්වය පිළිබඳ සුභවාදී බලාපොරොත්තු ඇති කරමින්.

පූර්ව ප්‍රචාරක පටය

https://www.youtube.com/watch?v=dlC1tNsr-n 

පූර්ව ප්‍රචාරක පටය මුදාහරින අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආයුෂ්මාන් කුරාණා සිය නව චිත්‍රපටය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, කමල් හසන්, ගෝවින්දා සහ කිශෝර් කුමාර් වැනි ප්‍රවීණ ශිල්පීන් අනුව යමින් කාන්තා චරිතයකට පණ පෙවීමට හැකිවීම ගැන ඉතාමත් සතුටු වන බවයි. විශේෂයෙන් රසිකයින් අතර ජනප්‍රියත්වයට පත් වූ, කමල් හසන් රඟපෑ Chachi 420 (1997) සහ ගෝවින්දා රඟපෑ Aunty No 1. (1998) චිත්‍රපටවල චරිතවල ආභාසය මේ චරිතයට ලැබුණු බවත් ඔහු සඳහන් කළා. “සෑම දශකයකම පාහේ මෙවැනි චරිත රංගන ශිල්පීන්ට ලැබෙන බවත්,  Dream Girl 2 ඔස්සේ තමා වෙත ලැබී ඇත්තේ ද එවැනි අවස්ථාවක්” බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ආයුෂ්මාන් පවසා සිටියා.

නිල නොලත් ආරංචි මාර්ග පවසන අන්දමට ඉන්දියානු රුපියල් කෝටි 50ක පමණ පිරිවැයක් දරමින් නිෂ්පාදනය කර ඇති Dream Girl 2, Balaji Motion Pictures නිෂ්පාදනයක්. මෙහි ප්‍රධාන නිලිය ලෙස නව පරපුරේ නිළි අනන්‍යා පාණ්ඩේ රංගනයෙන් දායක වන අතර, ඊට අමතරව පරේෂ් රාවල්, අන්නු කපූර්, විජේ රාස් සහ රාජ්පාල් යාදව් යන ප්‍රවීණ ශිල්පීන් ද චරිත මවන මෙම චිත්‍රපටය රසිකයින්හට මතක හිටින විනෝදාස්වාදයක් ලබා දෙන්නට සමත්වනු ඇති බවට නම් කිසිම සැකයක් නැහැ.

උමේෂ් ද සිල්වා