චීන ක්‍රීඩා ලෝලීන්ගේ උන්මාදය හේතුවෙන් සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමට පුහුණු සැසියක් මඟ හැරී තිබේ.

ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම අනිද්දා (15) ඔස්ට්‍රේලියානු පාපන්දු කණ්ඩායම සමග චීනයේ බීජිං නුවරදී සුහද පාපන්දු තරගයකට සහභාගි වීමට නියමිත බැවින් පසුගිය සෙනසුරාදා ආර්ජන්ටිනා කණ්ඩායම චීනයට ළඟා විය.

මෙහිදී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී දැකබලා ගැනීම සඳහා චීන ක්‍රීඩාලෝලීන් රැසක් ඔහු නවාතැන් ගත් හෝටලය අසල රැඳී සිටියේය. අතිවිශාල රසිකයන් සංඛ්‍යාවක් හෝටලය අසල රැඳී සිටි බැවින් මෙසීට හෝටලයෙන් පිටතට පැමිණීමටද නොහැකි වී තිබේ.

ආර්ජන්ටිනා-ඔස්ට්‍රේලියා සුහඳ තරගයට පෙර ආර්ජන්ටිනා කණ්ඩායම පෙර පුහුණු තරගයක් සඳහා බීජිංහි ජාතික ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට නියමිතව තිබුණද මෙසීට හෝටලයෙන් පිටවීමට නොහැකි වූ බැවින් එම පුහුණු තරගය අවලංගු කර ඇත.

චීන පාපන්දු රසිකයෙක් මෙසී හමුවීමට අවස්ථාවක් ලබාගැනීම සඳහා ඔහු නැවතී සිටින්නේ කුමන හෝටලයේද යන්න දැනගැනීමට පෙර ඩොලර් 1,400 වැය කරමින් බීජිංහි සුඛෝපභෝගී හෝටල් 04ක කාමර වෙන් කරවා ගැනීමේ සිදුවීමක්ද වාර්තා වේ.

මෙසී සිය පෞද්ගලික ජෙට් යානයෙන් චීනයට පැමිණි අතර, ඔහු චීනයට පැමිණි හත්වැනි අවස්ථාව මෙය බව වාර්තා වේ. මෙසී චීනයේ සිටින කාලය තුළ චීන මහා ප්‍රාකාරයේ සංචාරයක් යෑමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙසී චීනයට පැමිණි පසු මෙසීගේ අත්සන ලබාගත් පළමු චීන රසිකයා වූ ගුවන් තොටුපළේ භූමි කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු චීනයේ “වාසනාවන්තම මිනිසා” ලෙස බොහෝ රසිකයන් විසින් හඳුන්වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කවිඳු කාරියවසම්