බටහිර අප්‍රිකානු රටක් වන ගැබොන් රාජ්‍යයේ හමුදා නිලධාරීන් එරට ජාතික රූපවාහිනියේ පෙනී සිටිමින් තමන් බලය ලබා ගත් බවත්, වසර 53ක කාලයක් ගැබොන්හි බලය අල්ලාගෙන සිටි ජනාධිපති අලි බොන්ගෝව ජයග්‍රාහකයා ලෙස නැවත ප්‍රකාශයට පත් කළ සෙනසුරාදා පැවති මැතිවරණයේ ප්‍රතිඵල අවලංගු කරන බවත් පැවසූ බවත් විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

හමුදා නිලධාරීන් පසුව පවසා ඇත්තේ බොන්ගෝ මහතා නිවාස අඩස්සියේ තබා ඇති බවත් ඔහුගේ එක් පුතෙකු රාජද්‍රෝහී චෝදනාවකට අත්අඩංගුවට ගෙන ඇති බවත් ය.

පසුගියදා එරට පැවති මැතිවරණය ගැන අදහස් පල කරමින් විපක්ෂය විසින් එය ප්‍රෝඩාකාරී යැයි තර්ක කළද එම මැතිවරණයෙන් තුනෙන් දෙකකට ආසන්න ගණනකින් ජනාධිපති අලි බොන්ගෝ ජයගත් බව මැතිවරණ කොමිසම පවසා තිබුණි.

නමුත් පසුගිය බදාදා දින උදෑසන රූපවාහිනියේ සොල්දාදුවන් 12 දෙනෙකු පෙනී සිටි අතර, ඔවුන් මැතිවරණයේ ප්‍රතිඵල අවලංගු කරන බව සහ “ජනරජයේ සියලුම ආයතන” විසුරුවා හරින බව නිවේදනය කර ඇති අතර “නැවත දැනුම් දෙන තුරු” රටේ දේශසීමා වසා දමා ඇති බව කුමන්ත්‍රණ නායකයින් වැඩිදුරටත් පවසා ඇත.

බොන්ගෝ මහතා වෙනුවට ජනාධිපති ආරක්ෂක ප්‍රධානියා වන ජෙනරාල් බ්‍රයිස් ඔලිගුයි න්ගුමා පත් කරනු ඇති බවත්, “නිසි බලධාරීන්” විසින් කරන ලද පරීක්ෂණයකින් පසු ඇතැම් නිලධාරීන් “ඔවුන්ගේ ක්‍රියාවන්ට පිළිතුරු” ලබා දෙන බවත් ඔවුහු වැඩිදුරටත් පවසා ඇත.

බොන්ගෝ මහතාගේ පෙර ජයග්‍රහණ දෙකම විරුද්ධවාදීන් විසින් වංචනික ඒවා ලෙස විවාද කරන ලද අතර මෙවර මැතිවරණයට සති කිහිපයකට පෙර ඡන්ද පත්‍රිකාවල ආන්දෝලනාත්මක වෙනස්කම් සිදු කරන ලද බවත් වාර්තා වේ.

ඔහුගේ පියා වූ ඕමාර් 2009 දී මිය ගිය විට බලයට පත් වූ බොන්ගෝ 2018 සිට රට ආඝාතයකට ගොදුරු ව සිටියත් පාලනය අත්හරින්නට සූදානම් නොවීය. අවුරුද්දකට පසු අසාර්ථක කුමන්ත්‍රණ උත්සාහයක් නිසා කැරලිකාර සොල්දාදුවන් පිරිසක් සිරගෙටද යවන ලදී. ගැබොන් රාජ්‍යය අප්‍රිකාවේ ප්‍රධාන තෙල් නිෂ්පාදක රටක් වන අතර රටෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් වනාන්තරවලින් වැසී ඇත. තවද ගැබොන් යනු අතීත ප්‍රංශ යටත් විජිතයක්වූ වූ අතර එය 2022 ජුනි මාසයේදී පොදුරාජ්‍ය මණ්ඩලයට සම්බන්ධ වූ රටකි.

වසර 53 ක පවුල් පාලනය අවසන්වීම නිසා එය සැමරීම සඳහා විශාල ජනකායක් නගරයේ ප්‍රධාන වීදියට පැමිණි බවද වාර්තා වේ.