ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නිව් යෝර්ක් මෙටා සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් අතර හමුවක් ඊයේ (සැප්. 19) නිව් යෝර්ක් නුවරදී සිදුව තිබේ.

ඉන්ටර්නෙට් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කර ඇත.

ඔහු තවදුරට ත් සඳහන් කර ඇත්තේ, ඒ වෙනුවෙන් ඉදිරියේදී හඳුන්වා දීමට යෝජිත පනත මගින්, බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බව ත් පාර්ලිමේන්තු කාරක සභා සමාලෝචනයේදී මෙම පනතට තවත් සංශෝධන එක් කළ හැකි බව ය.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් විස්තර කරනු කර ඇත.

ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමේ අවස්ථා සොයා බැලීමටත්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමට මෙටා සමාගම සමග සහයෝගීතා වැඩසටහනක් ඇති කර ගැනීමටත් මෙහිදී යෝජනා වී තිබේ.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා දත්ත මත පදනම් වූ වැඩසටහන් සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කරන අතර ම, අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙරට කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම තම අවධානය යොමු කළ ප්‍රධාන ක්ෂේත්‍ර දෙක බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරට ත් සඳහන් කර ඇත.