ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඉන්දියා පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මීට එක්ව සිටින අතර හත්වැනි ඉන්දීය සාගර සමුළුව පෙබරවාරි 9 සහ 10 දෙදින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරෙන ඉන්දීය සාගර සමුළුව 2016 වසරේදී ආරම්භ වු අතර “ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍යය අංශය සඳහන් කරන්නේ.

කෙසේ නමුත් ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් රටවල් 40ක ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් මාර්ග සිතියමක් සකස් කිරීමද මෙවර සමුළුවේදී සිදු කිරිමට නියමිත අතර සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කෙරෙන ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකටද ජනාධිපතිවරයා එක්වීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටින අතර “අපේ නීල අනාගතය: හවුල් සාගර සම්පත්වල පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා ඉන්දියානු සාගර කලාපය දූපත් රාජ්‍යයන් සමඟ කටයුතු කරන්නේ කෙසේද” යන්න පිළිබඳ අවධානය යොමු කෙරෙන සම්මන්ත්‍රණයක් ඔහු විසින් ඇමතීමට නියමිතය.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඕස්ට්‍රේලියානු රජය සමඟ එක්ව ඉන්දීය පදනම විසින් 7 වැනි ඉන්දීය සාගර සමුළුව සංවිධානය කර තිබෙන අතර සිංගප්පූරුවේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන පාසල, ඕස්ට්‍රේලියාවේ පර්ත් – ඇමරිකා ආසියානු මධ්‍යස්ථානය ද මීට දායකත්වය සපයයි.

තවද 2 වන ඉන්දීය සාගර සමුළුව 2017 වසරේ එවකට අග්‍රාමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ දී පැවැත්විණි.