ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවට යෝජනාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

මේ පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයේ ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව ද දැන ගන්නට ඇත.

මහ මැතිවරණය පැවැත්වීම තුළින් රටේ ජනමතය නිවැරදි ලෙස උරගා බැලීමට හැකි බව ද එම ජනමතයට අනුව ජනාධිපතිවරයාට තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව ද මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

ඉදිරි අය-වැය පිළිබඳවද පක්ෂයක් ලෙස සිතා බලා කටයුතු කළ යුතු යැයි ද අය-වැයෙන් ජනතාවට සහනයක් නොලැබෙනවා නම් ඒ පිළිබඳ පක්ෂය තීරණයක් ගත යුතු යැයි ද මෙහිදී සාකච්ඡා වී ඇත.

අය-වැය පරාජය කිරීම පිළිබඳව මේ දක්වා තීරණයක් ගෙන නැතැයි ද නමුත් අය-වැයේ හොඳ නොහොඳ පිළිබඳ පක්ෂය විමසිල්ලෙන් සිටින අතර, ඒ අනුව පක්ෂය ගන්නා තීරණය ඉදිරියේදී ජනතාවට දැකගත හැකි බව ද සඳහන් වේ.