පොල්ගහවෙල ප්‍රදේශයේ ජන ජීවිතයට සහ පරිසරයට හානි වන අයුරින් සිදුකරන ගල්කොරි වහා නවතනු මැයෙන් අද (23)දින එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය හා පොල්ගහවෙල ප්‍රදේශයේ ජනතාව එක්ව මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබූ බව වාර්තා වේ.

පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, හබරව ග්‍රාමසේවා වසම තුළ බෙරවහේන ආශ්‍රිතව අක්‍රමවත්ව සිදුකරගෙන යනු ලබන ගල් කොරි කිහිපයක් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව තමන් සිදු කල ක්ෂේත්‍ර අධ්‍යයනයේ දී මනාව පැහැදිලි වන බව​ත්, කළුගල් කොරි හේතුවෙන් 2011 වසරේ ප්‍රදේශයේ පරිසරයට සහ ප්‍රදේශවාසීන්ට සිදු වූ හානිය නිසාම අධිකරණය මගින් කොන්දේසි සහිත ආඥා නිකුත් කර ඇති අතර, එම කොන්දේසි වලට අනුව ගල්කොරිය පවත්වා ගැනීමට නොහැකිව නවතා ඇති බවත් ඔවු​න් පවස​යි.

පසුව 2022.03.30 වන දින සිට දඹදෙණියේ පිහිටි ඉන්දික මෙට්ල් ක්‍රෂර් නමැති ආයතනය විසින් අක්කර 23 ක පමණ වපසරියකින් යුතු විශාල මෙම කළුගල් පර්වතය කැඩීම නැවත ආරම්භ කර ඇති අත​ර මෙම ගල්කොරිය සඳහා බලපත්‍ර Jodak International නමින් නිකුත් කර තිබුණද, එය සිදුකරගෙන යනු ලබන්නේ දඹදෙණියේ පිහිටි ඉන්දික මෙටල් ක්‍රෂර් නමැති ආයතනය මගින් වීම ගැටළු සහගත බවයි ඔවුන් පවසන්නේ.

ගල්කොරිය ක්‍රියාත්මක ගල් පර්වතය ජල උල්පත් වලින් අනුන ජල පෝෂක ප්‍රදේශයක් වන බවත්, කඳු මුදුනේ සිට සතර දිශාවටම භූ ජල උල්පත් විහිදී ගොස් ඇති බවත් 2022.11.25 දින ජල සම්පත් මණ්ඩලය විසින් කළ පරීක්ෂණයකින් මෙහි ජල උල්පත් ඇති බවට නිර්දේශ කර ඇති ලිපියක් නිකුත් කර ඇත් බවත් ඔවු​න් තවදුරටත් පවසයි.

හබරව, වදාකඩ, ගින්නෙරිය, වෙගොල්ලේ මඩ, කදුරුවැල්ල, නාගනේ, කෙහෙල්වත්තහේන සහ හිරිපත්වැල්ල යන ප්‍රදේශවල ජනතාවගේ මූලික ජීවනෝපාය වී ඇත්තේ ගොවිතැන වන අතර මෙම පර්වතය විනාශ කිරීම තුළ ජල උල්පත් සිඳී ගොස් සම්පුර්ණයෙන් ගොවි පවුල් අසරණ වීමට ඉඩක් පවතින බවත්, වෙඩි දැමීමේදී හා ගල් කැබලි කිරීමේදී යන්ත්‍ර සූත්‍ර මගින් දිගින් දිගටම නිකුත් වන අධික ශබ්දය සහ ගල් කුඩු දුවිලි හේතුවෙන් තම ගෙවත්තේ අස්වැන්න භාවිතය පවා භාවිතයට ගැනීම  අපහසු වී ඇති බවයි ගම්වාසීන් පවසන්නේ.

මේ පිළිබඳව අදාළ ආයතන සහ නිලධාරින් කොතරම් දැනුවත් කළද, ප්‍රාදේශීය ලේකම්තුමිය හැර භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව යන ආයතන වලින් කිසිදු නිලධාරියෙක් මෙම ගැටළුව නිරීක්ෂණයට නොපැමිණි බවත්, වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් 2022.10.03 දින එම ගල්කොරිය තාවකාලිකව තහනම් කලත්, නැවතත් 2022.11.11 වන දින වයඹ පළාත් පරිසර අධිකාරිය මඟින් සී කාණ්ඩය යටතේ පාරිසරික බලපත්‍රයක් නිකුත් කර ඇති අතර, එහි සදහන් කොන්දේසි කඩකිරීම් සම්බන්ධව නිලධාරින් දැනුවත් කලත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් වයඹ පළාත් පරිසර අධිකාරිය ඉදිරිපිට දී උද්ඝෝෂණ කිහිපයක්ද සිදුකරන ලද බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ දිමුතු සඳරැවන් ප්‍රකාශ කර කලේ​ය.

1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට අනුව 2000.11.22 දින 1159/22 දරණ ගැසට්‌ පත්‍රය ප්‍රකාරව ගල්කොරියක් පවත්වාගෙන යාම සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත යුතු අතර, යම් හෙයකින් අදාළ පාරිසරික බලපත්‍රයේ සඳහන් කොන්දේසි කඩ කරමින් ක්‍රියා කරන්නේ නම් එයට එරෙහිව පියවර ගැනීමේ හැකියාව ඇතත්, වයඹ පලාත් පරිසර අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රදේශයේ පරිසරය විනාශවීමට ඉඩ හැර නිහඩව සිටින බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තිය ප්‍රකාරව මෙය මහජනයා පිඩාවට පත්කරන ක්‍රියාවලියක් බවත්, ගල් බෝර දැමීමේදී නිවාස වලට පවා හානි පැමිණ ඇති ආකාරය ක්ෂේත්‍ර අධ්‍යයනයේ දී දැක ගැනීමට හැකි වු බවත්, එම නිසා මෙය අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මහජන අයිතිවාසිකම් භාවිතයට බාධා ඇති කරන මහජන පීඩාවක් ද වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත.

විශේෂයෙන්ම භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපතිවරයා පසු ගිය දිනක රට තුළ ඉදිකිරීම් ශ්‍රේත්‍රයේ අඩාල වීමත් සමග කළුගල් අපනයනය කිරීමට පියවර ගන්නා බව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කල අතර මේ අනුව පැහැදිලිව පෙනෙන්නේ ව්‍යාපාරික හිතුවන්ට මෙම විනාශයන් කිරීමට ඉඩ සලසා දීමෙන් රාජ්‍ය මැදිහත් වීමෙන් විනාශයන් සිදු කරනා ආකාරය බවත්, ඒ අනුව පරිසරය, ජල උල්පත් , ජන ජීවිතය යන මේ සියල්ලම අර්බුදයට යවමින් රාජ්‍ය මැදිහත් වීමෙන් මෙම විනාශයන් සිදු කරනා බව​ත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කාරක සභික කාරියමඩිත්තේ ඤාණාරාම හිමියන් ප්‍රකාශ කළහ.