ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයෙකු ලෙස අද නිල වශයෙන් වැඩ භාර ගෙන තිබේ. ඒ අනුව අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ ජයසූරිය සිය පත්වීම් ලිපිය භාරගෙන ඇති බව වාර්තා වේ.

මෙම උපදේශක තනතුර වෙනුවෙන් ජයසූරියට රුපියල් ලක්ෂ 50කට අධික වැටුපක් ගෙවීමට නියමිත බවත්, මහේල ජයවර්ධනද සනත් ජයසූරිය යටතේ උපදේශක භූමිකාවේ කටයුතු කිරීමට නියමිත බවත් ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ජයසූරිය යටතේ වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම, ජාතික ක්‍රිකට් කණ්ඩායම ඇතුළු සියලුම ජාතික සංචිතවල වගකීම සහ උසස් ක්‍රීඩක දක්ෂතා කළමනාකරණ මධ්‍යස්ථානයේ (HPC) වගකීම් ක්‍රියාත්මක වනු ඇත.