සුනඛයන් නොවන සතුන් සපා කෑම් හේතුවෙන් ජලභීතිකා රෝගයට ගොදුරු වී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ජලභීතිකා රෝගය පිළිබඳ නොදැනුම්වත් බව මෙම මරණ ඉහළ යාමට හේතු වී ඇති බව අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන අංශයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය හේෂාන් ගුරුගේ සඳහන් කර ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවාත්ති සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය නිලධාරී හේෂාන් ගුරුගේ මෙම අදහස් පළ කර තිබේ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා,

”පසුගිය වසර කිහිපය තුළ සිදු වුණ මානව මරණ අධ්‍යයනය කරද්දි සුනඛයෝ නොවන සතුන් ගෙන් පවා පොඩි වැඩි වීමක් පේනවා ජලභීතිකාවට ගොදුරු වුණ පුද්ගලයන්ගේ. සමහර අවස්ථාවල එම සතා මොකෙක් ද කියලා වත් දැනගන්න බැරි අවස්ථා තියනවා. මත්පැන්වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන් කිහිප දෙනෙක් ම මහා මාර්ග අසල ගොඩනැඟිලි අසල නිදාගෙන ඉඳලා උදේට නැඟිටලා බලනකොට මොකෙක් හරි සතෙක් කාලා, හපලා ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලො ගණං ගන්නෙ නෑ. ඒ පුද්ගලයන්ට ටික දවසක් යනකොට ජලභීතිකාව රෝග ලක්ෂණ මතු වෙනවා. ඒ වගේ සිද්ධි කිහිපයක්ම පසුගිය වසර දෙක තුනකම අපට වාර්තා වුණා. ඕනෑම සතෙකුගේ සපා කෑමක්, හීරීමක දී නිසි ප්‍රථමාධාරයක් සිද්ධ කරන්න ඕනේ. සබන් යොදා ගලන ජලයෙන් තුවාලය සෝදන්න. ගෙදර තියනවා නම් ස්පිරිට් හරි, බෙඩඩින් වගේ අයඩීන් ද්‍රාවනයක් සර්ජිකල් ස්පිරිට්, හයිඩ්‍රජන් පැරොක්සයිඩ් වගේ එවැනි විෂබීජ නාශක දියරයක් තියනවා නම් ඒක ගල්වන්න පුළුවන්. ඊට පස්සෙ රෝහලකට යන්න. මේ දේ කළොත් හැමදෙනාම ජලභීතිකාව ලංකාවෙන් තුරන් කරන්න පුළුවන්.