අධික වැසි සමග ප්‍රධාන ජලාශ 50 කට ආසන්න සංඛ්‍යාවක් වාං දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා ඇත.

ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවද 80% ක් දක්වා ඉහළ ගොස් ඇති බව එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ සඳහන් කර තිබේ.

මේ අතර, මල්වතු ඔය භාවිතයේදී විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ඒ මල්වතු ඔය පහළ ප්‍රදේශවලට නිකුත් කර ඇති ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීශ්වර මහතා පැවසුවේ නිල්වලා ගඟ පහළ ප්‍රදේශවල ගංවතුර අවදානම ද තවදුරටත් බලාත්මක බවය.

මේ අතර, අධික වැසි සමග දිස්ත්‍රික්ක 11කට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කළුතර ,මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට අයත් ය.