රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර ඇත.

ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න පවසා තිබේ.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී.