මේ වන විට රට තුළ ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 65ක් හඳුනාගෙන ඇති බව ත් සාමාන්‍යයෙන් රටේ සෑම රෝහලකට ම ඩෙංගු රෝගීන් 1,000කට වැඩි පිරිසක් දිනකට ප්‍රතිකාර ලැබීමට පැමිණෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු රෝග මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසා ඇත.

විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ, මේ වසර තුළදී ඩෙංගු රෝගීන් ඊයේ (දෙසැ. 20) උදෑසන වන විට 83,432ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් වැඩි ම ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව ය.

2017 වසරේදී වැඩි ම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ අතර 2019 වසරේදී එම ගණන ලක්ෂය ඉක්මවූ බව ත් කොවිඩ් වසංගතය පැවති 2020 සහ 2021 වසරේදී අවම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ බව ඔහු තවදුරට ත් සඳහන් කර තිබේ.

ඔහු සඳහන් කළේ, නැවත 2022 වසරේදී රෝගීන් ගණන වැඩි වූ බව ත් පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් මේ වසරේදී පසුගිය වසරට වඩා වැඩි රෝගීන් ගණනක් දෙසැම්බර් මාසයේදී වාර්තා වී ඇති බව ය.

2007 වසරේදී 1% පැවති ඩෙංගු රෝගී මරණ අනුපාතය 2023 වසර වන විට සියයට දශම 6ක් හෙවත් රෝගීන් 1,000කට එක් අයකුගේ මරණය වාර්තා වීම දක්වා පහළ බැස ඇති අතර මේ වසරේ ඩෙංගු රෝගීන් 49 දෙනෙකු බේරාගැනීමට නොහැකිව මිය ගොස් ඇති බව ද ඔහු පවසා ඇත.

කොළඹ, ගම්පහ, මහනුවර, කළුතර, පුත්තලම, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල්ල, රත්නපුර, යාපනය, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලදී මේ වසරේ සියයට 81.1ක් රෝගීන් වාර්තා වූ බව ත් විශේෂයෙන් ම බස්නාහිර පළාතේ සියයට 50ක් සහ මධ්‍යම පළාතේ සියයට 10ක් වශයෙන් සියයට 60කට වැඩි රෝගීන් අනුපාතයක් වාර්තා වී ඇති බව ත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත.