ආර්. බාල්කී, එහෙමත් නැත්නම් ආර්. බාලක්‍රිෂ්ණන් කියන්නේ සමාජය තුළ වැඩිවශයෙන් කතාබහට ලක් නොවන මාතෘකා ඔස්සේ නිර්මාණ කටයුතු සිදු කරන බොලිවුඩයේ නිර්මාණාත්මක අධ්‍යක්ෂකවරයෙකු වගේම තිර රචකයෙක්. Cheeni Kum (2007), Paa (2009), Shamitabh (2015), Pad Man (2018), Chup: Revenge of The Artist (2022) වැනි අපූරු චිත්‍රපටවල තිර රචකයා මෙන්ම අධ්‍යක්ෂකවරයා ද වන ආර්. බාල්කී සාමාන්‍යයෙන් නිර්මාණකරුවකු අතගසන්නට මැලිවන පන්නයේ සමාජයේ කතා බහට ලක් නොවන, සංවේදී සහ ආන්දෝලනාත්මක මාතෘකා සිය නිර්මාණ ඔස්සේ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් නම් දැරූවෙක්. Netflix ඔස්සේ මෑතක දී නිකුත් වූ Lust Stories 2 වෙනුවෙන් ඔහු අධ්‍යක්ෂණය කළ Made for each other නම් කෙටි චිත්‍රපටයද එවැන්නක්. මෙම අපූරු නිර්මාණකරුවාගේ නවතම චිත්‍රපටය වන්නේ Ghoomer. හදිසි අනතුරක් හේතුවෙන් සිය දකුණු අත අහිමිවන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක්, සිය පුහුණුකරුගේ මඟ පෙන්වීම යටතේ වම් අතින් පන්දු යවන ක්‍රිඩිකාවක ලෙස නැවතත් ක්‍රිඩාවට අවතීර්ණ වන අසාමාන්‍ය කතා තේමාවක් මෙම චිත්‍රපටයට පාදක වී තිබෙනවා.

මෙය සත්‍ය කතාවක් පාදක කරගනිමින් නිර්මාණය වූවක්ද යන්න ඔබ විමසා සිටියහොත් ඔබට ලබා දිය හැකි පිළිතුර වන්නේ, “ඔව් සහ නැත” යන්නයි. මක්නිසාද යත්, අතක් අහිමි වූ ක්‍රීඩකයෙකු නැවතත් පිටිය ජයගන්නා පුවත සත්‍යයක් වුවත්, ඔහු  ක්‍රිකට් ක්‍රීඩකයෙකු නොවීම එයට හේතුවයි.  ඇත්ත වශයෙන්ම Ghoomer ආභාසය ලබා තිබෙන්නේ, Karoly Takacs නම් ඔලිම්පික් රන් පදක්කම්ලාභී හංගේරියානු ඉලක්කයට වෙඩිතබන්නෙකු (Shooter) ගේ කථාව පදනම් කරගෙනයි. හංගේරියානු හමුදාවේ සෙබලෙකු වූ Karoly Takacs හට අත් බෝම්බ පිපිරීමක් නිසා ඔහුගේ දකුණු අත අහිමි වන්නේ 1938  දී. ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයෙකු වූ ඔහුගේ හමුදා දිවිය එතෙකින් නිමා වුවත්, හුරුපුරුදු පිස්තෝලය සුපුරුදු දකුණතින් නුපුරුදු වම් අතට හුරුකරගනිමින් දිගටම වෙඩිතැබීමේ ක්‍රිඩාවේ නිරත වන්නට ඔහු තීරණය කරනවා. වසරක් ගත වන විට හංගේරියාවේ ජාතික ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයා බවට පත්වන  Karoly, 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙල සහ 1952 හෙල්සින්කි ඔලිම්පික් උළෙල සඳහා “25 m rapid fire pistol”  ඉසව්වෙන් හංගේරියාව නියෝජනය කරමින් රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් වනවා

Ghoomer චිත්‍රපටයේ ක්‍රිකට් ක්‍රීඩිකාවගේ චරිතය නිරූපණය කරන්නේ නව පරපුරේ දක්ෂ චරිතාංග නිළියක ලෙස හඳුන්වා දිය හැකි සෛයාමි ඛේර් (Anina) විසින්. ඇගේ පුහුණුකරු ලෙස අභිෂේක් බච්චන්  (Padam Singh Sodhi) රංගනයෙන් දායක වන අතර, ප්‍රවීණ නිළි ශබානා ආස්මි සහ අංගද් බේඩි ද රංගනයේ යෙදනවා. එමෙන්ම, ආර්. බාල්කීගේ සිනමා දිවියේ සන්ධිස්ථාන ලෙස හැඳින්විය හැකි Cheeni Kum, Paa, Shamitabh යන සිනමාපට ත්‍රිත්වයේම ප්‍රධාන චරිත නිරූපණය කළ බොලිවුඩයේ “Big B” නොහොත්, ප්‍රවීණ නළු අමිතාබ් බච්චන් ද ගරු රංගනයකින් (Cameo appearance) Ghoomer හා එක්වන බව ද සඳහන්. Hope Film Makers සහ Saraswati Entertainment නිෂ්පාදනයක් වන Ghoomer චිත්‍රපටය, ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂකවරයෙකු ද වන අමිත් ත්‍රිවේදි විසින් සංගීතවත් කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා Ghoomer චිත්‍රපටයේ මංගල දර්ශනය ඕස්ට්‍රේලියාවේ පැවති IFFM සිනමා උළෙලේ (Indian Film Festival of Melbourne) ආරම්භය සනිටුහන් කරමින් තිරගත කෙරුණු අතර,  එහිදී චිත්‍රපටය සඳහා ඉතාමත් ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබී ඇති බවයි වාර්තා වන්නේ. එළඹෙන අගෝස්තු 18 දින සිට ලොව පුරා තිරගත කිරීමට නියමිත ව තිබෙන Ghoomer, බොලිවුඩ් රසිකයින්ට නවමු අත්දැකීමක් ලබා දෙන අපූරු චිත්‍රපටයක් වනු ඇති බව නම් නොඅනුමානයි.

චිත්‍රපටයේ පූර්ය ප්‍රචාරක පටය

-උමේෂ් ද සිල්වා-