අළුබඳුන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අද (28) එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ආරම්භ විය. එහිදී කාසිය වාසිය දිනාගත් එංගලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, එහිදී පළමු පන්දු වාරය අවසන් වූ අවස්ථාවේදී ප්‍රේක්ෂකයන් දෙදෙනෙක් තැඹිලි පැහැති කුඩු වර්ගයක් පිටිය පුරා ඉසිමින් ක්‍රීඩාංගණයට ඇතුළු විය.

ඔවුන් දෙදෙනාගෙන් අයෙකු එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාස්ටෝ විසින් ඔසවාගෙන හතරේ සීමාවෙන් එපිටට ගමන් කිරීමට කටයුතු කළේය.

මෙලෙස ක්‍රීඩා පිටියට ඇතුළු වූ දෙදෙනා “Just Stop Oil” නමැති එකමුතුවේ සාමාජිකයන් දෙදෙනෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. “Just Stop Oil” යනු පරිසරය සුරැකීම සඳහා වන ස්වාධීන එකමුතුවකි. එම එකමුතුවේ සාමාජිකයන් පසුගිය මාස 18 පුරා එංගලන්තයේ විවිධ උත්සවවලට කඩාපැන ඉන්ධන භාවිතයට විරෝධය දක්වා තිබේ.