ලංකාවේ තැඹිලි වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ  ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන අතර  2023 වසරේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය පවසා ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පොල් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් සමග මෙරට පොල්  වගාව සංවර්ධනය සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග හා මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එහිදී 2022 වසරේ  තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඇති අතර ඉන් රුපියල් මිලියන  110ක ආදායමක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.

මෙම වසරේ මෙතෙක් අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය මිලියන 14ක් බවත් ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140ක් බව එම අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.