ත්‍රිකුණාමලය තිරියාය ප්‍රදේශයේ ඉඩම් අක්කර 3600 ක් බේරා දෙන්නැයි එම ප්‍රදේශයේ ජනතාව දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම කර තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වන එම්. ඒ සුමන්තිරන් හා රාසමානික්කම් සානක්‍යන් යන මහත්වරුන් පෙරේදා එම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න විමසමින් ඔවුන් සමග පැවැත්වු සාකච්ඡාවේදීය.

එහිදි එම ජනතාව ප්‍රකාශ කර තිබුණේ විවිධ පාර්ශව විසින් තරඟයට මෙන් එම ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීමින් සිටින නිසා ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට ජීවත් විය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

කිරිගඩු සෑය විහාරයේ විහාරාධිපති හිමියන් 2010 වසරේදී එම විහාරයට ඉඩම් අක්කර 3600 ක් අත්පත් කර බවත් නමුත් එම ඉඩම් අක්කර ගණන යහපාලන පාලන සමයේදි අක්කර 257 දක්වා අඩු කෙරුණු බවත් එබැවින් ඉතිරි ඉඩම් මැන යළිත් ජනතාවගේ භාවිතය වෙනුවෙන් ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවත් මෙම සාකච්ඡාවට සහභාගි වී සිටි ජනතාව ඉල්ලා තිබේ.

එම අක්කර 3600ම මැන විහාරයට ගනු ලැබුවහොත් තම පෞද්ගලික ඉඩම්, චෙල්යායක් තමන්ට අහිමි වී ජීවත් විය නොහැකිව දිවිනසා ගැනීමට සිදුවන බව පෙන්වාදී ඇති එම ජනතාව සම්බන්ධයෙන් තමන් රජයේ ඉහළ පෙළ නිළධාරීන්, පොලීසිය වෙත කොතෙක් පැමිණිලි කළද ඔවුන් ඒවා කනකට නොගන්නා බවත් චෝදනා කර ඇත.

තවද ඇති කාඩු, පාවලන් කණ්ඩල්, නාරාවි කණ්ඩල් යන ප්‍රදේශ රැසක වෙල්යායන් බොහෝමයක් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් ගල්දමා මායිම් සලකුණු කොට එම වෙල්යායන් වලට ඇතුළුවීම තහනම් කර ඇති අතර එම ජනතාවට වසර තුනක කාලයක් එම වේල්යායන් වගා කිරිමට නොහැකිවීම නිසා මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින බවද තිරියාය ජනතාව වැඩි දුරටත් පවසා තිබේ. ජනතාවට සවන් දුන් සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ නැගෙනහිර පලාතේ පවතින ඉඩම් ගැටලු සම්බන්ධයෙන් තම සන්ධානය ජනාධිපතිවරයා හා සාකච්ඡා කර ඇති අතර ඒ අනුව පැවති වන සංරක්ෂණ ගැසට්පත්‍රය යළිත් ක්‍රියාත්මක කර මෙම ගැටලු විසදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා තමන් හමුවේ ප්‍රකාශ කළ බවය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සඳහන් කළ කිසිදු පොරොන්දුවක් මෙතෙක් ඉටු කළ නොමැති බව චෝදනා කළ මන්ත්‍රීවරයා යළිත් ආණ්ඩුව හා රජයේ පාර්ශව හා සාකච්ඡා කොට මෙම ගැටලු කඩිනමින් විසදීමට පියවර ගන්නා බවය.

රාජිනි මෙන්ඩිස්