එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 134ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළ අතර, ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 311ක් රැස්කර ගැනීමට සමත් විය.

එහිදී පිට පිට දෙවැනි ශතකයත් වාර්තා කළ ක්වින්ටන් ඩිකොක් ලකුණු 109 සහ ඒඩන් මාක්‍රම් වේගවත් ලකුණු 56ක් රැස් කළහ.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් සහ ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 02ක බැගින් බිඳ හෙළීය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩ නොදුන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඔස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර 40.5ක් අවසානයේ ලකුණු 177කට සීමා කළහ.

එහිදී සාර්ථක වූ එකම පිතිකරුවා ලෙස මානස් ලැබුෂේන් ලකුණු 46ක් රැස් කළහ. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් රබාඩා කඩුලු 03ක් බිඳහෙළීය.

තරගයේ වීරයා සම්මානය ක්වින්ටන් ඩිකොක්ට හිමි විය.