මේ දිනවල තිරගත වන Jawan චිත්‍රපටය ලබන අති සාර්ථකත්වයත් සමඟම එහි රඟපාන කාන්තා බලකාය (Lady Force) ගැනත් හරි හරියට කතා වෙනවා. දීපිකා පඩුකෝන් සහ සාන්‍යා මල්හෝත්‍රා වගේම කොලිවුඩයේ “Lady Superstar” විදියට හඳුන්වන සුපිරි නිලි නයන්තාරා, ප්‍රියාමනී ඇතුළු දකුණු ඉන්දියානු නිලියන්ද චිත්‍රපටයේ සාර්ථකත්වයේ ප්‍රධාන කොටස්කාරියන් විදියට හැඳින්වීමේ වරදක් නැහැ.

දකුණු ඉන්දියානු සිනමා නිලියන් හින්දි සිනමාවට පැමිණීම අතීතයේ පටන්ම සිදුවූවක්. දකුණු ඉන්දීය සිනමා නළුවන් පවා එලෙස හින්දි චිත්‍රපටවල රංගනයට එක්වූවද ඔවුන් එම කර්මාන්තයේ රැඳීමක් සිදු වන්නේ නැහැ. රජිනි කාන්ත්, කමල් හසන් මෙන්ම ධනුෂ් වැනි සුපිරි නළුවන් වරින් වර බොලිවුඩ් නිර්මාණවලට දායක වනු දකින්නට ලැබුණද, ක්ෂේත්‍රයේ රැඳෙනු දකින්ට ලැබුණේ R. මාධවන්, ප්‍රකාශ් රාජ් වැනි කිහිප දෙනෙකු පමණයි. එහෙත්, වැඩි වශයෙන් දකුණු ඉන්දියානු නිලියන් හින්දි චිත්‍රපට කර්මාන්තයට යොමු වන්නටත් එහි රැඳෙන්නටත් හේතුව මොකක්ද? ඇත්තෙන්ම දකුණු ඉන්දියානු ශිල්පිනියන් බොලිවුඩයට වාසනාව ගේනවාද? නැත්නම් බොලිවුඩය ඔවුන්ට වාසනාව ගේනවාද?

දකුණු ඉන්දියානු වාණිජ සිනමාව කියන්නේ සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රධාන නළුවා කේන්ද්‍ර කරගත් කර්මාන්තයක්. MGR, ජෙමිනි ගනේසන්, සිවාජි ගනේසන්, කමල් හසන්, රජිනි කාන්ත් සිට විජෙයි, ධනුෂ්, අල්ලු අර්ජුන්, රාම් චරන්, යශ් වැනි ශිල්පීන් දක්වාම එහි වැඩි වෙනසක් දකින්නට ලැබෙන්නේ නැහැ. අනෙකක් තබා දකුණු ඉන්දියානු චිත්‍රපටයක් හඳුන්වන්නේද එහි ප්‍රධාන නළුවාගේ චිත්‍රපටයක් ලෙසයි. චිත්‍රපටයක පිටපත පවා ලියැවෙන්නේ යම් කිසි නළුවෙකු වෙනුවෙන්ම බවත් ප්‍රසිද්ධ රහසක්. එවැනි පසුබිමක චිත්‍රපටයේ ප්‍රධාන නිලිය පවා චිත්‍රපටයේ සහාය චරිතයක තත්වයට පත්වීම නොවැළැක්විය හැකි කරුණක්. එම නිසා ක්ෂේත්‍රෙය් අනන්‍යතාවයක් ගොඩනගාගනිමින් රැඳී සිටීමට හැකිවන්නේ සීමිත ශිල්පිනියන් පිරිසකට පමණයි. වයසින් මුහුකුරා යාමේදී නළුවන්ට හිමිවන ආකාරයේ අවස්ථා නොලබන නිළියන්ට සාම්ප්‍රදායික වියපත් චරිතවලට පමණක් සීමා වීමට සිදු වනවා. නමුත් මෙයට සාපේක්ෂව බොලිවුඩයේ නිලියන් සඳහා ඉහළ අවස්ථා පවතිනවා. එමෙන්ම වර්තමානය වන විට කාන්තා මූලික චිත්‍රපට නිර්මාණය වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා.. මෙම හේතූන් නිසා බොලිවුඩ් සිනමාවට පිවිසීම දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියකගේ සිහිනයක්.

බොලිවුඩයේ සිහින කුමරිය (Dream Girl) ලෙස හැඳින්වෙන හේමා මාලනී පමණක් නොවෙයි, හිටපු දමිල සිනමා දැවැන්තයෙකු වූ ජෙමිනි ගනේසන්ගේ දියණිය වූ රේඛා පවා හින්දි සිනමාවට පා තබන්නේ එබැවින්. 2013දී සියවසේ හොඳම ඉන්දියානු නිලිය (India’s Greatest Actress in 100 Years) ලෙස තේරී පත් වූ ශ්‍රී දේවි ද, දෙමළ, කන්නඩා, තෙළිඟු චිත්‍රපට රැසක රංගනයෙන් අනතුරුව බොලිවුඩයට පිවිසි නිළියක්. චිත්‍රපට විශාල සංඛ්‍යාවක රඟපෑ බොලිවුඩයේ කාන්තා සුපිරි තරුවක් ලෙස ජනප්‍රිය වූ ඇය 2018 දී හදිසි අනතුරකින් මිය යනවිට පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලබා තිබුණා. ලෝක රූ රුජින ලෙස කිරුළු පැළදී අයිශ්වර්යා රායි මෙන්ම තාබු ද දකුණින් සිනමාවට පිවිසි රංගන ශිල්පිනියන්. The Dirty Picture (2011), Kahaani (2012), Begum Jaan (2017), Shakuntala Devi (2020), Sherni (2021) වැනි කාන්තා කේන්ද්‍රීය චිත්‍රපට රැසක රංගනයේ යෙදුණු විද්‍යා බාලන් ද කිහිප වරක්ම හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ දකුණු ඉන්දියාවෙන් රංගනයට පිවිසි අති දක්ෂ නිලියක්.

දක්ෂ දකුණු ඉන්දියානු නිළියක බොලිවුඩ් චිත්‍රපටයකට සම්බන්ධ කර ගැනීම දකුණු ඉන්දියානු ප්‍රේක්ෂකයින්වත් ඒ චිත්‍රපටයට ආකර්ෂණය කරගන්න හේතුවක් වෙනවා. ඉලියානා ඩි කෘස් (Barfi), පූජා හේග්ඩේ (Mohenjo Daro), තාප්සී පන්නු (Chashme Baddoor), තමන්නා භාටියා (Himmatwala) මෙන්ම සුපිරි නළු කමල් හසන්ගේ දියණිය වන ශ්‍රැති හසන් (Luck) ද එලෙස බොලිවුඩයට පැමිණි නිළියන් අතර වනවා.  දකුණු ඉන්දියානු චිත්‍රපට නැවත නිර්මාණය කිරීමේදීත් එම නිර්මාණ ජනප්‍රිය කරවීමේ අරමුණින් අධ්‍යක්ෂකවරු බොහෝ වෙලාවට මුල් නිර්මාණයේ ප්‍රධාන නිලිය තමන්ගෙ නිර්මාණයට සම්බන්ධ කර ගන්නවා. ඒ විතරක් නෙවෙයි බොලිවුඩයට පිවිසෙන දකුණු ඉන්දීය අධ්‍යක්ෂකවරුත් ඒ උපක්‍රමයම පාවිච්චි කරනවා. ඊට හොඳම උදාහරණය වන්නේ Ghajini (2005) දමිළ චිත්‍රපටයේ මෙන්ම එහි ප්‍රතිනිර්මාණය වූ Ghajini (2008) හින්දි චිත්‍රපටයේද ප්‍රධාන නිලි චරිතයට පණ පෙවූ ආසින් තොට්ටුම්කල්.

Sethu (1999) දෙමළ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය වූ Tere Naam (2003) චිත්‍රපටයෙන් ජනප්‍රිය තෙලුඟු හා දමිළ නිළි Bhumika Chawla, Vellanakalude Nadu (1988) මලයාලම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය වූ Khatta Meetha (2010) චිත්‍රපටයෙන් ජනප්‍රිය කොලිවුඩ් නිලි Trisha, Singam (2010) දමිළ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය වූ (2011) චිත්‍රපටයෙන් Kajal Aggarwal එලෙස බොලිවුඩයට පිවිසි ශිල්පිනියන් කිහිප දෙනෙක් ලෙස හඳුන්වා දිය හැකි අතර, එම චිත්‍රපට සියල්ල බොක්ස් ඔෆිස් හි සාර්ථක වීමටද ඔවුන්ගේ දායකත්වය පැහැදිලිවම හේතු වුණා.

උතුරු හා දකුණු චිත්‍රපට කර්මාන්ත අතර පවතින්නේ සීතල යුද්ධයක්. වාණීජ සිනමාවේ දැවැන්ත පසුබෑමකට ලක්වෙමින් තිබුණු බොලිවුඩ් සිනමාව තවදුරටත් ප්‍රේක්ෂකයින් අතරට ගෙනයන්නට දකුණූ ඉන්දියානු ශිල්පිනියන් දායක කර ගැනීම හොඳ ප්‍රවේශයක් බව නිර්මාණකරුවන් වටහාගෙන තිබෙන බව පෙනෙන්නට ඇත්තේ, ඉදිරියට නිකුත් වීමට නියමිත චිත්‍රපට ගණනාවකටද දකුණු ඉන්දියානු නිලියන් තෝරා ගෙන ඇති නිසයි. Goodbye (2022) චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි ජනප්‍රිය තෙලුඟු චිත්‍රපට නිලි රශ්මිකා මන්දනා ඉදිරියේදී තිරගත වීමට නියමිත Animal (2023) චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, Madras Cafe (2013) චිත්‍රපටයේ සහාය චරිතයකින් බොලිවුඩ් සිනමාවට අත්පොත් තැබූ දමිළ හා තෙලුඟු චිත්‍රපට නිලියක වන Raashii Khanna ද මෙම වසරේදීම තිරගත කිරීමට නියමිත Yodha (2023) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. එමෙන්ම Maari 2 (2018), Love Story (2021), Gargi (2022) වැනි ජනප්‍රිය දමිළ හා තෙලුඟු චිත්‍රපට රැසක රඟපෑ සායි පල්ලවී ද බොලිවුඩයට පාතැබීමට සූදානමින් පසුවන බව වාර්තා වනවා.

එම නිසා, කාලයක් තිස්සේ දකුණේ චිත්‍රපට කර්මාන්තයේ යෙදීමෙන් ලබන පන්නරයත්, ප්‍රේක්ෂක ප්‍රජාවකුත් (Fan base) රැගෙන බොලිවුඩයට පා තබන දකුණේ තාරකාවියන් පැමිණෙන්නේ වාසනාව රැගෙන බව කීම අතිශයෝක්තියක් නෙවෙයි. එයින්, දක්ෂතාවය මත වඩා පුළුල් පරාසයක පැතිරුණු චරිත නිරූපණය කිරීමටත් අනන්‍යතාවයක් ගොඩනඟාගනිමින් ක්ෂේත්‍රය තුළ රැඳී සිටීමටත් එම ශිල්පිනියන්ටද අවස්ථාව ලැබෙනවා.

උමේෂ් ද සිල්වා