ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මේ වන විට පැවැති තරග 45 තුළදී දස ලක්ෂයකට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් තරග පැවැති ක්‍රීඩාංගණවලට පැමිණ තරග නරඹා ඇති බව ලෝක කුසලාන තරග සංවිධායකයෝ පවසති.

එය අයි.සී.සී. තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩාංගණවලට පැමිණ තරගාවලියක් නැරඹූ වැඩිම පිරිස ලෙස වාර්තා අතරට එක්ව ඇත. මෙවර තරගාවලියේ වැඩිම ප්‍රේක්ෂක සහභාගිත්වය ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේදී වාර්තා වී ඇති අතර එම තරගය නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව 134,000කි.

අයි.සී.සී.ය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසා සිටියේ ක්‍රීඩාංගණවල සිට නැරඹූ පිරිසට අමතරව රූපවාහිනී, ඩිජිටල් සහ අනෙකුත් මාධ්‍ය ඔස්සේ තරගාවලිය නැරඹූ පිරිස වාර්තා කිහිපයක් බිඳ දමා ඇති බවයි.