ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ඇතුළු ක්‍රීඩිකාවන් සිව්දෙනෙකුගේ විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඔවුන් ඉන් වැරදිකරුවන් වන්නේ නම් එම ක්‍රීඩිකාවන් සඳහා ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (05) දැල්පන්දු සම්මේලනයෙන් ඉල්ලීමක් කර ඇත.

දකුණු කොරියාවේ පැවැති යොවුන් දැල්පන්දු තරගාවලිය අතරතුර නවාතැන්ගෙන සිටි හෝටලයෙන් පිටතට යාම සහ ඊට උත්සාහ කිරීම, පිටස්තර පුද්ගලයන් සමග තරගාවලිය පැවැත්වෙන අතරතුර සබඳතා පැවැත්වීම, අසභ්‍ය අයුරින් හැසිරීම, කළමනාකරුට සහ නිලධාරීන්ට අවනත නොවීම සහ අසභ්‍ය ඡයාරූප ළඟ තබා ගැනීම යන චෝදනා එම ක්‍රීඩිකාවන්ට එල්ල වී තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයෙන් සහ පාසල් දැල්පන්දු සම්මේලනයෙන් විමර්ශන 02ක් සිදුකරන බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

එහිදී අමාත්‍යවරයා සභාපතිනියට සඳහන් කර ඇත්තේ කවුරුන් හෝ වැරද්දක් කර ඇත්නම් ඔවුනට ජීවිතාන්ත තරග තහනමක් ලබාදෙන ලෙසයි. එලෙස දඬුවමක් දුනහොත් පමණක් යළි මෙවන් විනය විරෝධී ක්‍රියා සිදු කිරීමට ක්‍රීඩිකාවන් මැලිවන බවද හෙතෙම පවසා තිබේ