ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය අද (28) දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරදී ආරම්භ වේ. තරගාවලිය අද සිට අගෝස්තු මස 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, ඊට ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 16ක් සහභාගි වේ.

තරගාවලිය වෙනුවෙන් A,B,C සහ D ලෙස කාණ්ඩ හතරකින් යුක්ත අතර, A කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, ටොන්ගා, සිම්බාබ්වේ සහ ෆීජි යන කණ්ඩායම්ද, B කාණ්ඩයෙන් එංගලන්තය, මලාවි, ස්කොට්ලන්තය සහ බාබඩෝස් යන කණ්ඩායම්ද, C කාණ්ඩයෙන් ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව, වේල්සය සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම්ද, D කාණ්ඩයෙන් නවසිලන්තය, උගන්ඩාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ සහ සිංගප්පූරුව යන කණ්ඩායම්ද තරග වදී.

මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 9.30ට ජැමෙයිකාවට එරෙහිව පැවැත්වෙන අතර, දෙවැනි තරගය හෙට (29) රාත්‍රී 7.30ට දකුණු අප්‍රිකාවට එරෙහිවත්, තෙවැනි තරගය අනිද්දා (30) දහවල් 12.30ට වේල්සයට එරෙහිවත් පැවැත්වීමට නියමිතය.

මෙතෙක් පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලිහිදී වැඩිද ශූරතා ගණනක් (11) හිමි කරගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවයි. නවසීලන්තයට ශූරතා 05ක් හිමිව ඇති අතර, ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ දේශයට එක් ශූරතාවක් බැගින් හිමිව බේ.

ශ්‍රී ලංකා සංචිතය

ගයන්ජලී අමරවංශ (නායිකාව), දුලංගි වන්නිතිලක (උපනායිකාව), තිසාලා අල්ගම, සේමිනී අල්විස්, රශ්මි දිව්‍යාංජලී, මල්මි හෙට්ටිආරච්චි, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, ගයත්‍රි කෞෂල්‍යා, තර්ජනී ශිවලිංගම්, භාෂිනී යෝෂිතා ද සිල්වා, ශානිකා පෙරේරා. ප්‍රධාන පුහුණුකාරිණිය – තිලකා ජිනදාස, සහාය පුහුණුකාරිණිය – පී.ඩී.එන්. ප්‍රසාදි