තමන්ගේත් තම සමීපතමයන්ගේත් ජීවිත අවදානමේ තිබියදී කිසිසේත් නොදන්නා පුද්ගලයෙකුගේ ජීවිතයක් බේරා ගන්නට ඉදිරිපත් වෙන මිනිසුන් ලෝකයේ විරලයි. ඇතැම් විට එවැනි පරිත්‍යාගශිලී මිනිසුන් ගැනකිසිවක්, කිසිවෙක්, කිසි දිනක දැනගන්නේ වත් නැහැ. නමුත් එවැනි අපූරු මිනිසුන් ගැන ලොවට කියන්නට හොඳ නිර්මාණයකට හැකියාව තිබෙනවා. The Railway Men : The untold story of Bhopal 1984 කියන්නේත් එවැනි නිර්මාණයක්.
නොවැම්බර් 18 වැනි දා Netflix ඔස්සේ නිකුත් වූ The Railway Men : The untold story of Bhopal 1984 හි අන්තර්ගත වන්නේ ලෝක ඉතිහාසයේ සිදුවූ විශාලතම කාර්මික අනතුර ලෙස හැඳින්වෙන මිනිසුන් 15000කට පමණ මරු කැඳවූ ඉන්දියාවේ භෝපාල් ඛේදවාචකයේ දී විපතට පත්වූවන් වෙනුවෙන් දිවි පරදුවට තබමින් කැපවූ මිනිසුන් පිරිසකගේ කථාවක්. ලොව ප්‍රමුඛතම විකාශන (Streaming) සමාගම වන Netflix සහ ඉන්දියාවේ YRF Films අත්වැල් බැඳගැනීමෙන් පසු විකාශන (Streaming) කටයුතු සඳහා නිෂ්පාදන සිදු කිරීම සදහා Yash Raj Films විසින් පිහිටුවනු ලැබූ YRF Entertainment සමාගමේ පළමු නිෂ්පාදනය ලෙසයි The Railway Men එළි දකින්නේ.

Union Carbide Corporation ඇමරිකානු සමාගමට අයත් Union Carbide India Limited සමාගමේ කර්මාන්ත ශාලාවක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි භෝපාල් නගරයේ 1969 දී ස්ථාපිත කරන්නේ පළිබෝධනාශක නිෂ්පාදනය කිරීමටයි. මේ සදහා අතර මැදි අමුද්‍රව්‍යයක් ලෙස යොදාගන්නා methyl isocyanate (MIC) කියන රසායනිකය කම්හල තුළදීම නිෂ්පාදනය කිරීම 1979දී ආරම්භ කරන අතර, එම ද්‍රව්‍ය ගබඩා කිරීමට ටොන් 40ක E610, E611 සහ E619 යන භූගත ටැංකි 3 භාවිතා කර තිබෙනවා. 1980 මුල් භාගයේදී පළිබෝධනාශක සඳහා ඇති ඉල්ලුම පහත වැටීම නිසා නිෂ්පාදනය කරන ද්‍රවීය MIC විශාල වශයෙන් එම ටැංකි තුළ ගබඩා කර තිබෙනවා. මින් E610 ටැංකියේ තිබූ දෝෂයක් නිසා එහි ගබඩා කර තිබූ ටොන් 42ක ප්‍රමාණයක MIC ද්‍රවය ඉවතට ගැනීමට හැකියාවක් නොමැති වී ඇත්තේ සමාගමේ පාලනාධිකාරිය කම්හලේ නඩත්තු කටයුතු නිසිආකාරයෙන් සිදුකර නොතිබීම හේතුවෙන්. එපමණක් නොවෙයි කමිහලේ vent gas scrubbers සහ ගිීනදැල් කුළුණ පවා ක්‍රියා විරහිත තත්වයේ පැවතී ඇත්තේ කම්හල් සේවකයින්ගේ ආරක්ෂාව වගේම නගරවැසියන්ගේත් ජීවිතත් අවධානමේ හෙලමින්. “වියදම් කප්පාදුව” තදින්ම අනුගමනය කළ Union Carbide පාලනාධිකාරිය කම්හල් සේවකයින්ට නිසි පුහුණුවක් ලබා දී නොතිබූ අතර අඩුම තරමේ ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රමාණවත් ගෑස් මුහුණූ ආවරණ පවා ලබා දී තිබුණේ නැහැ. 1984 දෙසැම්බර් දෙවැනි දා තීරණාත්මක රාත්‍රියේ එක් නුපුහුණු කම්හල් සේවකයෙක් ජල කරාමයක් විවෘත කරන්නේ පිරිසිදු කිරීමේ කටයුත්තක් සඳහායි. නොදැනුවත් කම නිසා ඔහුට එම ජලකරාමය විවෘත කිරීමට පෙර සිදු කළ යුතු අවශ්‍ය ආරක්ෂාකාරී පියවර ගන්නට නොහැකි වනවා පමණක් නොවෙයි. එම කරාමය වසා දමන්නටද අමතක වනවා. එහි ප්‍රතිඵලය වන්නේ E610 ටැංකියට ජලය කාන්දු වීමයි.

MIC සමඟ ජලය මිශ්‍රවීමෙන් සිදු වන ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලය ලෙස අධික විශ සහිත methyl isocyanate (MIC) වායුව ටැංකිය තුළ එකතු වෙමින් තිබුණු අතර, සේවයේ යෙදී සිටි සුපරීක්ෂකවරයා ඒ පිළිබඳව දැනගන්නා විටත් බොහෝ ප්‍රමාද වී තිබුණා. වායු නිශ්ක්‍රිය කිරීමට අවශ්‍ය උපකරණවත් කම්හල සතුව නොතිබූ නිසා ටැංකියේ එකතු වන වායුව වෙනත් ටැංකියකට යොමු කරන්නට දිවි නොතකමින් සුපරීක්ෂකවරයා උත්සාහයක යෙදුනත් ටැංකිය පුපුරා යාම ඔහුට නවත්වන්නට ලැබෙන්නේ නැහැ. එයින් නිකුත් වන වායුව භෝපාල් වායුගෝලය ආක්‍රමණය කරමින් පැතිර යන්නේ මැදියම් රාත්‍රිය ගෙවී 3 වැනිදාට පහන් වෙමින් තිබියදීයි. 3000කට අධික පිරිසක් නිදි යහනේම මරුතුරුලට යවන්නට සමත් වන මෙම මාරාන්තික වායුවෙන් දිවි නොතකා මිනිසුන් බේරා ගන්නට උත්සාහ කරන මිනිසුන් පිරිසක් වටා ගෙතී ඇති The Railway Men වෙබ් කතා මාලාව මුලින් සඳහන් කළා වගේම භෝපාල් ඛේදවාචකය ගැනම කියවෙන කතාවක් නොවුණත්, ඉන් ආපදාවට ලක්වුණු මිනිසුන් වෙනුවෙන් කැපවුණු මිනිසුන් පිළිබඳ සත්‍ය අතුරු කථාවක්.
රාජකාරිය දේවකාරිය ලෙස සැලකූ දුම්රිය ස්ථානාධිපතිවරයෙක් (කෛ කෛ මෙනන්), මුදලට ඉදිරියෙන් හෘදසාක්ෂිය තැබූ මංපහරන්නෙක් (දිව්යෙන්දු), දිවි නොතකා පොරොන්දු රැකි තරුණයෙක් (බාබිල් ඛාන්), සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් ප්‍රධානීන්ගේ අණ නොතැකූ දුම්රිය නිලධාරියෙක් (ආර්. මාධවන්) ඇතුළු පරාර්ථකාමී චරිත බොහොමයක් එක් ව කොටස් 04කින් සමන්විත මෙම වෙබ් කතා මාලාවෙන් අපට කියා දෙන්නේ මිනිසත් බව පිළිබඳ අපූරු පාඩමක්.‍

The Railway Men වීරයින්ගේ කථාවක්. නමුත් ඇතැම් චරිතවල වීරත්වය ඉස්මතු කිරීමේදී චරිතය අනවශ්‍ය ලෙස කැපි පෙණුනු අවස්ථාද දකින්නට ලැබුණා. එම නිසා අති දක්ෂ නළුවකු වන මෙනන්ගෙන් ද ඇතැම් විට සීමාව ඉක්මවූ රංගනයක් දක්නට ලැබුණු අතර, ශිව් රාවේල් ගේ කුළුඳුල් අධ්‍යක්ෂණයේ අඩුවක් ලෙස හඳුනාගත හැකියි. බ්‍රිතාන්‍ය ජාතික නළු Philip Rosch විසින් Madsen නම් අකාරුණික කම්හල් කළමනාකරුගේ භූමිකාව අති දක්ෂ අයුරින් නිරූපණය කරනවා. බාබිල් ඛාන් සහ දිව්යෙන්දු ගේ රංගනයත් ඉතා ඉහළ මට්ටමක පැවති අතර, මාධ්‍යවේදියාගේ චරිතය නිරූපණය කරන සනී හින්දුජා ද අමතක නොවන රංගනයක නිරත වනවා. ගරු රංගනයෙන් එක් වන ප්‍රවීණ නිළි ජුහී චව්ලා මෙන්ම කලකට පසු රංගනයට එක්වන මන්දිරා බේඩිද The Railway Men සදහා අපුරු දායකත්වයක් ලබා දෙනවා.

කථා මාලාවේ නාටකීය බව ත්‍රීව්‍ර කිරීමට යාම නිසා කතාමාලාවේ සත්‍යවාදී ( Realistic) බව අඩු වීම කැපී පෙණුනා. කම්හලට ඈතින් පිහිටි දුම්රිය පොලේ මිනිසුන් විෂ දුම ආඝ්‍රාණය කිරීමෙන් මැරී වැටෙද්දී, සිදුවිමෙන් පැය ගණනකට පසුවත් කම්හල ඉදිරිපිට පදිංචි මිනිසුන් මුව ආවරණයක් හෝ නැතිව ගෘහ භාණ්ඩ අස්පස් කරමින් සිටිනු දක්නට ලැබුණා. දුම්රිය ස්ථානාධිපතිවරයාද සුපිරි බලයක් ඇත්තෙකු ලෙස අවසාන භාගයේදී මුව ආවරණයක් හෝ නොමැතිව දුව පැන යමින් මිනිසුන් බේරා ගැනීමෙහි නිරත වෙමින් සිටියා. හුස්මගැනීමට පවා අපහසු ව තිබියදී මුව බැඳි ලේන්සුවක් සහිත වීදි දරුවකු ගීතයක් ගායනා කිරීම වැනි නොගැලපෙන දර්ශන කතාවේ අනුවේදනීය බව වැඩි දියුණු කිරීමට බලෙන් එබ්බවූ දර්ශන ලෙසයි දකින්නට ලැබුණේ.

මෙවැනි විශාල විපතකදී මධ්‍ය ප්‍රදේශ් රජය කටයුතු කළ ආකාරය සහ එහි ප්‍රධානීන්ගේ වගකිම් විරහිත හැසිරීම බරපතල ලෙස ප්‍රශ්න කර ඇති ආකාරයක් මෙම කථා මාලාව පුරාවට දකින්නට ලැබුණා. Union Carbide India Limited සමාගම බෝපාල්හි උගත් කමක් නොමැති දිළිඳු ජනතාවගේ ශ්‍රමය සූරා කෑ ආකාරයත් සමාගමක ලාභය යන සාධකය ඉදිරියේ, මිනිස් ජීවිතයක වටිනාකමේ තක්සේරු කර තිබූ ආකාරය ප්‍රේක්ෂකයාට මැනවින් ඉදිරිපත් කර තිබුණා. පසුතල මැනවින් ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වීමනිසා නිර්මාණකරුවන්ට සිය ප්‍රේක්ෂකයින් දශක හතරකට ආපසු රැගෙන යාම අපහසුවක් නොවූ බව දක්නට ලැබුණා. එමනිසා The Railway Men හි කැමරාකරණය සහ සංස්කරණය මෙන්ම කලා අධ්‍යක්ෂණයද කැපී පෙනෙන ලෙස ඉහළ මට්ටමක තිබූ බව කියන්නට පුළුවන්. ඇමරිකානු ජාතික Sam Slaterගේ සංගීතයෙන් රසවත්වූ The Railway Men කථා මාලාව Historical drama, Disaster, Tragedy ශානරයේ කතා මාලාවක් ලෙසයි නම් කර ඇත්තේ. මේවන විට IMDb දර්ශකයේ අගය 8.7ක් ලෙස සටහන් කිරීමට සමත් වී ඇති කොටස් 4කින් (විනාඩි 55-65) යුත් “රේල්ලුවේ මිනිසුන්ගේ මිනිසත්බවේ කතාන්තරය” අනිවාර්යයෙන් නැරඹිය යුතුම එකක්.

උමේෂ් ද සිල්වා