නායයෑමේ අවදානමක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බෙරගල, බත්ගොඩ ප්‍රදේශයේ පවුල් 42ක් ඉවත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේරත්න මහතා සඳහන් කර ඇත්තේ පෙරේදා (05) දිනයේ එම ස්ථානයේ සිදු වූ නාය යාමකින් නිවාස 2 ක් හානි වූ බවය.

අවතැන් වූවන්ගෙන් කොටසක් ප්‍රදේශයේ පාසලක හා අනෙක් පිරිස ඔවුන්ගේ ඥාතී නිවාස සිටින බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර ඇත.

මේ අතර පස්කඩා වැටීමක් හේතුවෙන් හපුතලේ යහලබැද්ද මාර්ගය මේ වන විටත් අවහිර වී තිබේ.

මේ අතර දිස්ත්‍රික්ක 6කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකය.

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ සහ හල්දුම්මුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකය.

ඊට අමතරව හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අදියර එක යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මේ අතර අද දිනයේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.