සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු විය. ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

සිව්වැනි දිනය අවසානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් කඩුලු 02කට ලකුණු 76ක් රැස් කරගෙන සිටි අතර, අවසාන දිනයේ තරගයේ ජයග්‍රහණයට කඩුලු 08ක් ඇතැතිව ලකුණු 289ක් රස්කිරීමට කොදෙව්වන්ට අවශ්‍යව තිබුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් පිල පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදුන් අතර, ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 438ක් රැස් කළේය. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි සිය 29වැනි ටෙස්ට් ශතකය රැස් කරමින් ලකුණු 121ක් රැස් කළේය.

අනතුරුව සිය පළමු ඉනිම ඇරඹූ කොදෙව්වන්ට සියල්ලන්ම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 255ක් පමණි. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රෙග් බ්‍රාත්වේට් පන්දු 235කින් ලකුණු 75ක් ලබා ගත්තේය. ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් මොහොමඩ් සිරාජ් කඩුලු 05ක් දවාගත්තේය.

ඉන් අනතුරුව සිය දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 181ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. එහිදී නායක රෝහිත් ශර්මා ලකුණු 57ක් සහ ඉෂාන් කිෂාන් නොදැවී ලකුණු 52ක් රැස් කළේය.

ඒ අනුව ජයග්‍රහණයට ලකුණු 364ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් සිව්වැනි දිනයට තරගය නතර කරන විට කඩුලු 02ක් දැවී ලකුණු 76ක් ලබා සිටියේය.

මේ අනුව තරග 02කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස ඉන්දියාව ජය ගත්තේය.