ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නීති විරෝධී බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ධනුෂ්කගේ ක්‍රියා කලාපයට එරෙහිව මෙරට අධිකරණය තුළද නඩුවක් පවතින බැවින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ මතය ක්‍රිකට් ආයතනය විසින් නොවිමසූ බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී කාන්තාවකට ලිංගික බලහත්කාරකම් සිදු කළේ යැයි ධනුෂ්කට චෝදනා එල්ලවූ අතර, ඔස්ට්‍රේලියාවේ පැවැති නඩු විභාගයකින් ඔහුව නිදොස් කොට නිදහස් කළේය. ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්‌තේය.