සුපිරි කොලිවුඩ් නළු ධනුෂ්ගේ නවතම චිත්‍රපටය වන Captain Miller හි පළමු ටීසරය ධනුෂ්ගේ උපන්දිනය යෙදී තිබෙන අද දින (ජුලි 28) පෙ.ව.00.01ට අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණා. අරුන් මතේෂ්වරන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය Captain Miller ලෙස නම් කිරීමට පෙර D47 (Working Title) ලෙස තාවකාලික ව නම්කර තිබුණේ මෙය ධනුෂ් විසින් ප්‍රධාන භූමිකාව නිරූපණය කරන 47වන චිත්‍රපටය වීම හේතුවෙන්.

Captain Miller ලෙස චිත්‍රපටය නම් කිරීමත් සමඟම මෙය Captain Miller යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ LTTE සංවිධානයේ පළමු කළු කොටි සාමාජිකයා (First Black Tiger) වන වල්ලිපුරම් වසන්තම්ගේ ජීවිත කථාව පාදක කරගනිමින් කර ඇති නිර්මාණයක් වන්නට ඇති බවට මත පළ කෙරුණා. සමාජ මාධ්‍ය තුළ එවැනි අදහස් සහිත පෝස්ටු පළ කර තිබෙනු දකින්නට ලැබුණු අතර, ඇතැම් වෙබ් අඩවි ද නැවත මිලර් පිළිබඳ කතිකාවක් ගොනැගීමට උත්සාහ කර තිබීම කැපී පෙණුනා. මිය ගිය සටන්කාමීන් වැටී සිටින යුධ බිමක් මැද ගිණි අවියක් අත දරා තනිව සිටින සටන්කාමියෙකු ලෙස ධනුෂ් පෙනී සිටින ආකාරය දැක්වෙන චිත්‍රපටයේ පළමු පෝස්ටරය (First look poster) 2023 ජුනි 30 දින නිකුත් කිරීමත් සමඟම එම සැකය තව තවත් තීව්‍ර වුණා. අනෙකක් තබා IMDb වෙබ් අඩවියේ පවා චිත්‍රපටයේ කථා සාරාංශය (Summery) “1940 කාලයේ LTTE ක්‍රියාකාරිකයෙකු වූ ‘කැප්ටන් මිලර්’ගේ විප්ලවය ඇසුරින්” නිර්මාණය වූවක් බව දක්වා තිබෙනවා. LTTE සංවිධානය ආරම්භය සිදු වූයේ ද 1976 වන නමුත්, LTTE සංවිධානයේ විරුවෙකු ලෙස සැලකෙන Captain Miller නැමැත්තෙකු පිළිබඳව මූලාශ්‍ර පවතින නිසා, මෙය ධනුෂ්ට ආදරය කරන ලාංකිකයින්ගේද කැළඹීමට හේතු වූවාට සැකයක් නැහැ. අප මේ සූදානම් වන්නේ එම පැටලිල්ල ලිහාගන්නටයි.

1987 වඩමාරච්චි මෙහෙයුම අතරතුර දී LTTE සංවිධානය ග්‍රහණයේ පැවති නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලය හමුදාව විසින් අත්පත් කර ගෙන එහි කඳවුරක් පිහිටුවීමෙන් පසු, එය නැවත ලබා ගැනීම සඳහා ත්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කර තිබුණා. ඔවුන්ගේ සැලසුම වී තිබුණේ පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථයක් කඳවුර තුළට ධාවනය කර එය විනාශ කිරීමයි. එම කාර්යය සඳහා සිය කැමැත්තෙන්ම සිය ඉදිරිපත් වී තිබුණේ 1983දී රියදුරෙකු ලෙස LTTE සංවිධානයට එක් වූ “වල්ලිපුරම් වසන්තම්“ හෙවත් “මිලර්“ නැමැත්තායි. 1987 ජුලි 5 දින ත්‍රස්තවාදීන් විසින් පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථයේ රියදුරු අසුනට මිලර් ගොඩවූයේ LTTE ඉතිහාසයේ පළමු මරාගෙන මැරෙන සාමාජිකයා ලෙසයි. එසේ වුවත්, ගලවාගත නොහැකි වන ලෙස ඔහුගේ සිරුර රියදුරු අසුනටත්, දෑත් සුක්කානමටත්, දකුණු පාදය ඇක්සලරේටරයටත් තබා බැඳ තිබූ බවයි වාර්තා වන්නේ. පණ ගැන් වූ ට්‍රක් රථය අධික වේගයෙන් කඳවුර වෙතට ධාවන ය කෙරුණත් කඳවුරේ පළමු බාධකය අසලට ළංවන්නටත් පෙර මිලර්ට ජීවිතය අහිමි වන්නේ ආරක්ෂක සෙබළුන්ගේ වෙඩි පහරින්. කෙසේ නමුත් අධීක වේගය නිසා රථය නවතා ගැනීමට හැකියාව නොලැබීම හේතුවෙන් මිලර්ගේ සිරුර සහ පුපුරණ ද්‍රව්‍ය රැගත් ට්‍රක් රථය කඳවුර තුළට ධාවනය වන අතර ඉන් ඇති වන විශාල පිපුරුම යුධ හමුදාවට එම කඳවුර මෙන්ම යුධ හමුදා සාමාජිකයින් රැසකගේ ජීවිතද අහිමි කිරීමට සමත් වී තිබුණා.

වල්ලිපුරම් වසන්තම් හෙවත් මිලර්

එම සංහාරයෙන් පසු මිලර් නැමැත්තා, LTTE සංවිධානයේ කැප්ටන් තනතුරට උසස් කළ අතර, LTTE මරාගෙන මැරෙන ඒකකයේ‍ (Black Tigers) ආරම්භයද එයින් ම සනිටුහන් වුණා. කැප්ටන් මිලර් එම ත්‍රස්තවාදී ප්‍රහාරය සිදු කළ ජුලි 5 දිනය කළු කොටි දිනය ලෙස හැඳින්වූ අතර මිලර්ගේ රන් පිළිමයක් ද එම ස්ථානයේ ඉදි කළ බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත්, Captain Miller චිත්‍රපටය සඳහා කිසිදු ලෙසක කළු කොටි සාමාජික මිලර්ගේ සම්බන්ධයක් නොමැති බව චිත්‍රපටයේ රචනා කර අධ්‍යක්ෂණය කළ අරුන් මතේෂ්වරන් මාධ්‍ය හමුවේ පවසා තිබුණා. 1940 සමයේ ඉන්දියානු නිදහස් සටනේ පූර්වකාලීන සිදුවීම් ඇසුරින් මෙහි පිටපත රචනා කර තිබෙන බව  පැවසූ ඔහු ධනුෂ්ගේ චරිතයට මිලර් යන නාමය ලබා දීමට හේතුව ලෙස ප්‍රකාශ කළේ, Saving Private Ryan (1998) හොලිවුඩ් චිත්‍රපටයේ ටොම් හෑන්ක්ස් විසින් රඟපෑ John Miller චරිතයට ඇති කැමැත්ත නිසා බවයි.

Captain Miller චිත්‍රපටයේ ප්‍රධාන නිලි චරිතයට පණ පොවන්නේ කොලිවුඩ් නිලි ප්‍රියංකා අරූල් මෝහන්. මීට අමතරව ජනප්‍රිය කන්නඩා නළුවකු වන ශිවා කුමාර් සහ දමිළ සහ තෙළිඟු චිත්‍රපට නළුවකු වන සන්දීප් කිෂන් මෙන්ම ඇමරිකානු නළු එඩ්වඩ් සොනෙන්බ්ලික් ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වන Captain Miller හි රූගත කිරීම්, KTMR වන රක්ෂිතය ඇතුළුව තමිල්නාඩු ප්‍රාන්තයේ විවිධ ප්‍රෙද්ශ රැසක සිදු කර තිබෙනවා. චිත්‍රපටයේ නිෂ්පාදන වියදම සම්බන්ධයෙන් නිල තොරතුරක් වාර්තා නොවන නමුත්, ඒ සඳහා ඉන්දියානු රුපියල් කෝටි 60 පමණ වැය වන්නට ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ. චිත්‍රපටය 2023 දෙසැම්බර් 15 වන දින සිට ලොව පුරා ප්‍රදර්ශනය සඳහා සූදානම් කර ඇති අතර, ලාංකික රසිකයින්ටත් දැන් දෙගිඩියාවකින් තොරවම Captain Miller එන පෙරමඟ බලාගෙන ඉන්නට හැකියාව තිබෙනවා.

උමේෂ් ද සිල්වා