නව වැට් බදු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.
වැට් බද්ධ ඉහළ නැංවීම සඳහා පසුගිය දා පාර්ලිමේන්තුවට ගෙන ආ පනත් කෙටුම්පත සම්මත වීමත් සමග එය ජනවාරි 01වන දා සිට ක්‍රියාත්මක වන බවට රජය දැනුම් දී තිබුණි.
ඒ අනුව මෙතෙක් සියයට 15ක්ව පැවති වැට් බද්ද අද සිට සියයට 18 දක්වා ඉහළ නංවා තිබේ.
මෙතෙක් වැට් බදු අය නොකළ භාණ්ඩ හා සේවා 97ක් සඳහා මෙම වැට් බදු ඉහළ නැංවීම අදාළ වන බව මුදල් අමාත්‍යංශය සඳහන් කර ඇත.
LP ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ද නව වැට් බද්දට යටත් වන අතර සියලු ජංගම දුරකථන, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍රසූත්‍ර සහ ගිලන්රථ ආනයනය ඇතුළු කේෂ්ත්‍ර රැසක් සඳහා වැට් බද්ධ පැනවෙනු ඇත.
එමෙන්ම රසායනික පොහොර, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණද , සුර්ය පැනල සහ ගෘහස්ත සුර්යබල පද්ධති ද වැට් බද්දට යටත් බව සඳහන්ය.
මීට අමතරව දේශීයව නිෂ්පාදනය කරන සීනි , ස්වර්ණාභාරණ, මෘදුකාංග, කොප්පරා, රබර්, බිත්තර, තේ, පොල්තෙල් හා දියර කිරිද වැට් බද්ද හරහා ඉහළ නංවනු ලබන භාණ්ඩ ලැයිස්තුවට අයත් වේ.
පාවහන් නිෂ්පාදනයට යොදාගන්නා නිමකරන ලද සම්භාණ්ඩ සඳහාද මෙන්ම චිත්‍ර ශීල්පීන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර අලෙවි කරන අවස්ථාවේදීත් එය වැට් බද්දට යටත් වෙනු ඇත.
මෙරටට සංචාරකයන් ගෙන්වීමේදී ලබා දෙන සේවා, එම සංචාරක ආයතනවලින් අදාළව ලබාදෙන සේවා සඳහාත් වැට් බදු අය කෙරේ.
චිත්‍රපට බෙදාහැරීම, ප්‍රදර්ශනය සහ නිෂ්පාදනයේදී, රසායනාගාර පහසුකම් සඳහා ද අලුතින් වැට් බද්ද පනවා තිබේ.
එමෙන්ම දේශීය ධාන්‍ය වර්ග යොදාගනිමින් නිෂ්පාදනය කරන අධිපෝෂිත ආහාර සහ දේශීයව නිෂ්පාදිත පොල්තෙල් සඳහාද වැට් බදු අය කෙරෙනු ඇත.
කෙසේ වුවද වැට් බද්ද පනවා නොමැති භාණ්ඩ හා සේවා රැසක් ද රජය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
මේ අතර වැට් බද්ද වැඩි වීමත් සමග මිල ඉහළ යන ඇතැම් භාණ්ඩ හා සේවා පිළිබඳ මේ වන විටත් අදාළ පාර්ශව නිවේදන නිකුත් කර තිබේ.
දුරකථන ජාල සේවා බොහොමයක් මේ වන විටත් සිය බදු ඉහළ නංවා ඇති බව වාර්තා වේ.
වැට් බදු සංශෝධනයත් සමඟ අද දිනයේ සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර දෙවන කිලෝමීටරය සඳහා අයකළ රුපියල් 80ක ගාස්තුව රුපියල් 100 දක්වා වැඩිකරන බව ‍ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කර තිබේ.
එමෙන්ම ජංගම දුරකථන ආනයනය කිරීමේ දී සියයට 18%ක වැට් බද්දක් අය කිරිම හේතුවෙන් දුරකථන මිල ගණන් ද ඉහළ යන බව ජංගම දුරකථන ආනයනය හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසා ඇත.
මෙම වැට් බදු සංශෝධනයත් සමඟ අද දිනයේ සිට ආපන ශාලාවල ආහාර මිල ගණන් ද ඉහළ යන බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය ද මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ සඳහන් කර ඇත.