පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇති බව ඔප්පු කළහොත් තනතුරුවලින් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (25) පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (25) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

එම තරගාවලියට සහභාගි වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලිපි නිකුත් කර ඇති බවත්, එසේ වුවද ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිඳු මුදලක් වියදම් කර නොමැති බව හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්වීම සඳහා අදාළ නළු නිළියන් තරගාවලියට සහභාගි වූ බවත්, එම නළු නිළියන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවලදීද ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීම සඳහා පැමිණෙන බවත් සභාපතිවරයා පවසා සිටියේය.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසුවේ අදාළ නළු නිළියන් සමග තමන් ඇතමුන් කියන ආකාරයේ ගමන් බිමන්වලට සහභාගි වී නොමැති බවත්, ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් වියදම් කර නොමැති බවත්ය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, එහි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.