Stiff person syndrome නමින් හඳුන්වන ඉතා දුර්ලභ ස්නායු ආබාධයකින් පීඩා විඳිමින් සිටින ජනප්‍රිය කැනේඩියානු ගායිකා Celine Dion නැවතත් වේදිකාවට පැමිණීමේ සුභවාදී බලාපොරොත්තුවකින් පසුවන බව ප්‍රකාශ කර තිබෙනවා. සිය රෝගී තත්ත්වය හේතුවෙන් 2022 වසරේ සිට සම්පූර්ණයෙන්ම ගායනයෙන් ඉවත් වී සිටින 55 වියැති Celine Dion මෙම අදහස් පළ කර තිබෙන්නේ, වසර දෙකක Stiff person syndrome තත්වය සමඟ ඇය ගෙවන ජීවිතය පිළිබඳ නිර්මාණය වන වාර්තා චිත්‍රපටය වන I Am: Celine Dion පිළිබඳව නිවේදනය කරමින්.

 

1997 වසරේ නිකුත් වූ “Titanic” චිත්‍රපටයේ තේමා ගීතය වන “My heart will go on” ගීතය ගායනය කිරීමෙන් පසු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ Celine Dion ගේ ගීත ඇල්බම මිලියන 250කට වඩා අලෙවි වී ඇති බවයි වාර්තා වන්නේ. I Am: Celine Dion වාර්තා චිත්‍රපටය ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූ අධ්‍යක්ෂ Irene Taylor විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර, Prime Video ඔස්සේ විකාශය වීමට නියමිතයි.