නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15000 දක්වා ද විභාග ගාස්තු රුපියල් 1200 ක් දක්වා ද වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

එමෙන්ම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයැදුම්පත් කැඳවා ඇති බවත් මේ සම්බන්ධයෙන් විසඳුම් ලබාදිය යුතුව තිබෙන බවත් ඔහු සඳහන් කර තිබේ.

අලුත් ගැසට් පත්‍රයේ රෙගුලාසි අනුව ගාස්තු වැඩි කිරීමක් සිදුකර තිබෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

නීති අධ්‍යයන කවුන්සිලය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම වැඩි කිරීම කළ බවත් සිසු සිසුවියන් 5000 කට පමණ අධ්‍යාපන කටයුතු ඇතුළු අනිකුත් පහසුකම් නීති විද්‍යාලය විසින් ලබා දෙන අතර නීති විද්‍යාලයට රජයෙන් කිසිම මුදලක් ලබා දෙන්නේ නැතැයි අධිකරණ අමාත්‍යවරයා පවසා තිබේ.

නීති විද්‍යාලයට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නැතැයි ද නීති විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් අය කරන සුළු මුදලින් සිසුන් පන්දහසකට පමණ අධ්‍යාපනය ලබා දෙන බවද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සදහන් කර ඇත.

පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර නීති විද්‍යාලයේ සඳහා අයැදුම් පත් කැඳවීමේ කාරණය පිළිබඳව කරුණු සොයා බලා ඉදිරිපත් කරන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.