එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ අංක උපනායක ඔලී පෝප් දෙවැනි ටෙස්ට් තරගයේදී දකුණු උරහිසේ ආබාධයකට ලක්වීම නිසා ඔහුට අළුබඳුන තරගාවලියේ ඉතිරි තරග 03 අහිමි වී තිබේ.

ඔහුගේ උරහිසේ සිදු කරන ලද ස්කෑන් පරීක්ෂණයකින් අනතුරුව වෛද්‍ය කණ්ඩායම් ඔහුට විවේක ගන්නා ලෙස උපදෙස් දී ඇත.

ඔහුගෙන් හිස්වන අංක 03 පිතිකරු වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයෙකු කැඳවා නොමැති අතර, මොයින් අලී හෝ ජෝ රූට් එම ස්ථානයේ ක්‍රීඩා කරනු ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔස්ට්‍රේලියානු ප්‍රධාන දඟපන්දු යවන්නා වන නේතන් ලයන්ටද අළුබඳුන තරගාවලියේ ඉතිරි තරග 03 අහිමි වී තිබේ. ඒ ඔහු දෙවැනි ටෙස්ට් තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඔහු වෙනුවට දඟපන්දු යවන ක්‍රීඩක ටොඩ් මර්ෆි ඔස්ට්‍රේලියානු සංචිතයට කැඳවා ඇත.

අළුබඳුන තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගය හෙට (06) හෙඩිංලිහිදී ආරම්භ වීමට නියමිතය.