ඇත්තටම අපි ගීතයකට ඇලුම් කරන්නෙ ඇයි? ගීතයකට ආදරේ කරන්නෙ ඇයි? ඇතැම් ගීතයක් අපි අපේ කරගන්නෙ ඇයි?

ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ අපේ ජීවිතයේ තිබෙන යම් කිසිවක් ඒ ගීත තුළින් පෙනෙන්නට පටන් ගත්තාම. අපේ සිතුවිල්,, අපේ සිහින, අපේ හැඟීම්, අපේ වේදනා, අපේ ප්‍රාර්ථනා මේ ඕනෑම දෙයක් අපට ගීත තුළින් සම්මුඛ වෙන්න නියමිතයි.

අන්න ඒ වගේ එක්තරා රිදුම් දෙන යථාර්ථයක්, තැවුල් උපදවන යථාර්ථයක් නිරූපණය කරන ගීතයක් තමයි මේ.

කොවුලෙක් මොටද මට මිහිරිම ගී ගයනා
උලලේනෙක් වෙයන් ඉඳහිට දුක අහනා

මොකක්ද මේ ගීතයෙන් නිරූපණය කරන අපේ ජීවිතයට ළඟ ඔය කියන රිදුම් දෙන යථාර්ථය?

මේ යුගයේ අපේ ජීවිත තුළ තිබෙන දුක්බරම ඛේදවාචකය තමයි අපගේ මානව සබඳතා උපයෝගීතා අර්ථයකට ලඝු වීම. එහෙම කිව්වම ටිකක් තේරෙන්නෙ නැහැ වගේ නේ? මෙහෙම කියමුකො. මේ යුගයේ අපි මිනිස් සබඳතා පවත්වන්නෙ අනෙකා ඇසුරු කිරීමෙන් අපට ලැබෙන ලාභය කොයිතරම්ද කියල ගණනය කරලා. අනෙකාගේ කරට අත දා ගැනීමෙන් තමන්ගේ සාක්කුවට කීයක් වැටෙනවද කියන එක තමයි මේ යුගයේ මිනිස් සබඳතාවල ස්වරූපය.

ඇත්තටම අපි මිනිස්සුන්ගෙ කරට අත දාගන්න ඕනෙ ඇයි? ආදරය නිසා, දයාව නිසා, කරුණාව නිසා, සහෝදරත්වය නිසා. ඒත් අපට අමතක වෙලා තියෙනවා මිනිස්සු ඉන්නෙ ආදරය කරන්න කියලා. අපි මිනිස්සුන්ව ‘පාවිච්චියට’ ගනිමින් ඉන්නවා.

ඉතින් මේ තත්ත්වය කොහොමද ආදර සම්බන්ධතාවකට ගැළපුවාම? ඔන්න පෙම්වතාට පේන්න ගන්නවා පෙම්වතිය ඉන්නෙ තමන්ගෙ පාවිච්චියට ගන්න කියලා. තමන්ගෙ කුදුමහත් උවමනා එපාකම් ඉෂ්ට කරන්න කියලා. එහෙම අර්ථයකින් පෙම්වතියකට ළංවෙන පෙම්වතෙකුට ඇගේ හදවතට එබිකම් කරන්න අවශ්‍ය නෑ. ඔහුට අවශ්‍ය ළැම විතරයි, ළය නෙවෙයි. ඒ නිසා තමයි මේ ගීතයේ යුවතියට සිද්ධ වෙලා තියෙන්නෙ මගේ හදවතට ටිකක් ඇහුම්කන් දෙන්න කියල ඔහුට ආයාචනා කරන්න.

ඇරත් ඔබ දන්නවා අපේ සංස්කෘතිය ඇතුළෙ කොවුලා නියෝජනය කරන්නෙ සොම්නස, සෞභාග්‍යය. ඊට සපුරාම වෙනස්ව උලලේනා නියෝජනය කරන්නෙ දුක, මූසලකම, කාන්සිය, අන්ධකාරය.

මෙවන් යුගයකදී අපේ ජීවිත තුළ සොම්නසට වඩා දොම්නස වැඩියි. සෞභාග්‍යයට වඩා මූසලකම වැඩියි.ඒ නිසා අපට උවමනායි අපේ දුක බෙදාගන්න කෙනෙක්. අපේ වේදනාවට ඇහුම්කන් දෙන කෙනෙක්. ආධ්‍යාත්මයේ පතුලට එබෙන්න උවමනාවක් සහිත කෙනෙක්.

ඒත් මුළුමහත් සමාජයම ඉන්නෙ තුරඟ තරග පිටියකට කුලප්පු කරල අතඇරපු අශ්වයො වගේ. හැල්මෙ දුවනවා. අනෙක් කෙනා දිහා හැරිලා බලන්න ඉස්පාසුවක් නෑ. ඉතින් එහෙම මිනිස්සුන්ට කොහෙන්ද උවමනාවක් තව කාගෙවත් හදවතකට එබෙන්න.

රුවලක් මොටද සුළඟක් එන තුරු සිටිනා
හබලක් වෙයන් ඔරුවක් වෙරළට ගෙනෙනා

අපි මේ දුක් සයුර තරණය කරලා වෙරළකට සේන්දු වෙමු කියල පෙම්වතිය යෝජනා කළත් පෙම්වතා හරියට රුවලක් වගේ, ඔහේ ඉන්නවා. නිශ්ක්‍රීයයි. දේවල් වෙනස් කරන්න මහන්සි වෙන්නෙ නෑ. තත්ත්වයන් යහපත් කරගන්න උත්සාහ ගන්නෙ නෑ. සියල්ල දෛවයට පවරලා.

ඇරත් කැපකිරීම් කරන්නෙ ආදරවන්තයො. පාවිච්චිය පිණිස ළංවෙලා ඉන්න හාදයො කැප කිරීම් කරන්න මහන්සි  වෙන්නෙ නැහැ. මේ යුවතියට වරදින තැනත් එතැන.

නටුවක් මොටද මට ළා සුළඟට සැලෙනා
කටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා

කොවුලා අපේ ජීවිතයට සමීප වෙන්නෙ සොම්නස්සහගත කාලයක. ඒ එන්නෙත් සංවාසයට සහකාරියක් සොයාගෙන. ඒ ඇවිත් සින්දු කියලා තමන්ගෙ ආතල් එක අරගෙන ඌ ඉගිල්ලිලා යන්නෙ අනුන්ගෙ කූඩුවක බිත්තරත් දාලා. පෙම්වතියට අමතක වෙනවා කොවුලාගේ මේ ආත්මාර්ථය. එතන තමයි ඇයට වරදින්නෙත්. ඇය ඉල්ලා සිටිනවා තමන්ට ආරක්ෂාව ඕනෙ, හව්හරණය ඕනෙ කියලා. ඒක නිසා නටුවක් වගේ ලා සුළඟටත් වැනි වැනී ඉන්න එපා, කටුවක් වෙන්න කියල ඇය කියනවා. වෙනත් විදියකට කියනව නම් ඇය මේ කියන්නෙ” “පඹයෙක් වෙන්න එපා මිනිහෙක් වෙයන්” කියලා.

ඒත් ප්‍රශ්නෙ මේකයි. ඔහුට දැනෙන්නෙ ඇය පාවිච්චියට ගන්න තියෙන බඩුවක් වගේ ද? නැත්නම් සම්, මස්, ඇට නහර සහිත මනුස්ස දුවක් වගේද? පෙම්වතියගේ ඉල්ලීම සානුකම්පිතයි. ඒත් මේ යුගයේ මානව සම්බන්ධතා ඊටත් වඩා සානුකම්පිතයි.

මේක තමයි මේ ගීයේ නිරූපිත, මම අර කල් තියා කියපු රිදුම් දෙන යථාර්ථය.

නලින්ද සංජීව ලියනගේ