ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් එංගලන්තය සහ නවසීලන්තය අද ඉන්දියාවේ අහමදාබාද්හිදී තරග බිමට පිවිසි අතර, එහිදී පළමු තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 282ක් රැස් කිරීමට සමත් විය.

එහිදී එංගලන්ත ඉනිම ශක්තිමත් කළ ජෝ රූට් ලකුණු 77ක් සහ නායක ජෝස් බට්ලර් ලකුණු 43ක් රැස් කළහ.

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී මැට් හෙන්රි කඩුලු 03ක්, මිචෙල් සැන්ටර් කඩුලු 02ක් සහ ග්ලෙන් පිලිප්ස් කඩුලු 02ක් බිඳහෙළූහ.

අනතුරුව පිටියට පිවිසි නවසීලන්තය පන්දුවාර 36.2 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 283ක් රැස් කරමින් කඩුලු 09ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.

එහිදී අනගි ඉනිමක් ක්‍රීඩා කළ ඩෙවෝන් කොන්වේ ලකුණු 152ක් සහ රචින් රවීන්ද්‍ර ලකුණු 123ක් රැස් කළහ. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිදුනු ලකුණු 273ක සබඳතාවක්ද ගොඩනැගීය.