කුරුණෑගල නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලක පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් එකොළොස් දෙනෙකු පමණ ලිංගික අතවරයකට ලක් කළ බව කියන එම පාසලේ ඉංග්‍රීසි විෂයය උගන්වන ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකාර ගුරුවරයා පොතුහැර ප්‍රදේශයේ පදිංචි පනස්පස් හැවිරිදි දෙදරු පියෙකු වන අතර දෙමාපියන් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීම හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ගුරුවරයා තම විෂයය උගන්වන අවස්ථාවේදී පන්තියේ සිටින සිසුවියන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින් සිසුවියන්ගේ ශරීරය අතපත ගාමින් මිරිකමින් ඔවුන් අතවරයට ලක් කර ඇති අතර දිනපතාම සිදු කරන මෙම අතවර සම්බන්ධයෙන් ඊට ගොදුරුවූ සිසුවියන් නිවසේදී තම දෙමාපියන්ට දැන්වීමෙන් පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අතවරයකට ලක්ව සිටින සිසුවියන්ගේ දෙමාපියන් සමඟ තවත් දෙමාපියන් පිරිසක් මේ පිළිබඳව එම පාසලේ විදුහල්පතිවරයාට පැමිණිලි කර ඇත. නමුත් විදුහල්පතිවරයා එම පැමිණිලි නොසලකා හැර කටයුතු කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් දෙමාපියන් පිරිසක් විදුහල්පතිවරයාට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ඊට සම්බන්ධ දෙමාපියන් පිරිසට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම දෙමව්පියන්ගේ පැමිණිල්ල කලින් යොදා තිබුණ නමුත් පසුව දමන ලද පැමිණිල්ල විභාග කර දෙමව්පියන් හිරකර විදුහල්පතිවරයාට අවශ්‍ය පරිදි සිද්ධිය මෙහෙයවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් පොලිසිය මේ පිලිබඳ වැඩිදුර විමර්ශණ සිදු කර‍යි.