ඉමාම් උල් හක් නොදැවී ලබාගත් ලකුණු 50ක් සමගින් ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 04ක ජයග්‍රහණයක් ලබාගැනිමට පාකිස්තානය සමත් විය. ඒ අනුව තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටද පාකිස්තානයට හැකි විය.

ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භයේදී ලකුණු 131ක ඉලක්කයක් හඹා යන පාකිස්තානයට තවත් ලකුණු 83ක් අවශ්‍ය වූ අතර, ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා කඩුලු 07ක් අවශ්‍ය විය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට දවාගැනීමට හැකි වූයේ තවත් කඩුලු 03ක් පමණි. ඒ අනුව කඩුලු 06ක් දැවී ලකුණු 133ක් රැස් කළ පාකිස්තානයට කඩුලු 04ක ජයක් හිමි විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි ඉනිමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 04ක් දවාගත් අතර, පාකිස්තානය වෙනුවෙන් ඉමාම් උල් හක් නොදැවී අර්ධ ශතකයක් රැස් කළේය.

තරගයේ වීරයා සම්මානය පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 30ක් රැස් කළ සවුද් ශකීල්ට හිමි විය.