හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරියේදී ප්‍රබල බලවේගයක් සමඟ එකතු වී කටයුතු කරන බව සමගි ජනබලවේගයේ අක්මීමන ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි පවසා ඇත.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (06) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විජයපාල හෙට්ටිආරච්චි මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

හිටපු ජනාධිපතිනිය රට ගොඩනගන්න සහය ලබාදෙනවානම් සමගි ජනබලවේගයද ඊට සහය ලබාදෙන බව ද ඔහු එහිදී පවසා ඇත.

ප්‍රශ්නය – චන්ද්‍රිකා බණ්ඩාරනායක යළි දේශපාලනයට එනවා කියලා කියනවා.

පිළිතුර – හිටපු ජනාධිපතිවරිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස පත්කරන්න යම් සේවයක් ලබාදුන්නා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරියේදී ප්‍රබල බලවේගයකට එකතු වෙලා ඒ බලවේගය ශක්තිමත් කරන්න කටයුතු කරයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක රාජපක්ෂ පවුල වගේ තමන්ගේ පවුල් දූෂිත හොර නඩයක් බවට පත් කර ගත්තේ නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක දේශපාලනයට එනවට අපි කැමතියි. හිටපු ජනාධිපතිනියක් ලෙස රට ගොඩනගන්න ඇය සහය දෙනවානම් සමගි ජනබලවේගය කැමතියි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මෛත්‍රීපාල සමඟ හෝ රජපක්ෂවරු සමඟ එකතුවෙලා දේශපාලනය කරයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ.