ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් සිකුරාදාට පෙර නිදහස් නොකරන බව ඊශ්‍රායලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත.

සටන්වල විරාමයක් අද (23) ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කළ නමුත් ඊශ්‍රායල රජයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් BBC පුවත් සේවය සඳහන් කරන්නේ එය ප්‍රමාද වී ඇති බවය.

පළමු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අද (23) දිනයේ සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

සැලසුම් කර ඇති ගිවිසුම යටතේ හමාස් සංවිධානය විසින් අල්ලාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කෙරෙන අතර ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා සිටි පලස්තීන කාන්තාවන් සහ යෞවනයන් 150 දෙනෙකු නිදහස් කරනු ඇත.

ඊශ්‍රායලය ගාසා තීරයේ සිය ගොඩබිම් සහ ගුවන් මෙහෙයුම් දිගටම කරගෙන ගොස් ඇති අතර අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයට එරෙහිව නිරපේක්ෂ ජයග්‍රහණයක් ලබා ගන්නා බවටද ප්‍රතිඥා දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසා ඇත.

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ හමාස් සටන්කාමීන් 1200ක් මරා දමා තවත් 240ක් පමණ ප්‍රාණ ඇපයට ගෙන ඔක්තෝම්බර් 7 වැනිදා දේශසීමා තරණය කිරීමෙන් පසුවය.

මේ අතර ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් ළමුන් 5,000 කට වැඩි ප්‍රමාණයක් ඇතුළුව 14,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවය.