ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශයට පත්කර ඇති අස්වැසුම විශේෂ සතියේ රාජකාරිවලින් ප්‍රාදේශීය ලේකම්වරුන් ඉවත්වීම හේතුවෙන් එම සතිය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය මෙම සතිය වර්ජනය කරන බවට දැනුම් දී තිබෙන බැවින් ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කලින් සැලසුම් කළ වැඩසටහන් වෙනස් කර ඇත.

අස්වැසුම සතිය තුළදී අභියාචනා හා විරෝධතා ගැටලු විසඳීමට කලින් සැලසුම් කර තිබුණ ද ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වර්ජනය හමුවේ එය කල් දැමීමටත්, එම කාලය තුළදී තාක්ෂණික හා කළමනාකරණ ගැටලු පමණක් විසඳීමටත් තීරණය කර තිබේ.

එසේ ම ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය අස්වැසුම සතිය සාර්ථක කර ගැනීමට අදාළව ප්‍රාදේශීය ලේකම්වරුන් සමග අද ( 7) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය කර තිබෙන අතර මෙම අවස්ථාවට සහභාගි වන්නැයි සියලු ම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

ඊයේ (6) දින ආරම්භ වූ අස්වැසුම සතිය ලබන 11 වන දා දක්වා ක්‍රියාත්මක වන බව ත් මෙම සතිය තුළදී තාක්ෂණික හා කළමනාකරණ ගැටලු විසඳීමෙන් අනතුරුව අභියාචනා හා විරෝධතා ගැටලු විසඳන ලෙසට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දන්වා යවා තිබෙන බවත් ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසා ඇත.

ප්‍රාදේශීය ලේකම්වරුන් අභියාචනා හා විරෝධතා පරීක්ෂා කිරීම වෙනත් කොට්ඨාසයකත් අනෙකුත් රාජකාරි තමන්ගේ කොට්ඨාසය තුළත් සිදුකිරීමට තිබෙන බැවින් ප්‍රායෝගික ගැටලුවකට මුහුණදී සිටින බව ද එම මණ්ඩලය සඳහන් කර තිබේ.

මේ අතර අස්වැසුම වැඩසටහනේ පවතින ගැටලු විසඳීමට ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය ක්‍රියාමාර්ග ගෙන නැතැයි ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.

අස්වැසුම වැඩසටහනේ තේරීම් ලැයිස්තු ප්‍රකාශයට පත්කර පුද්ගලයන්ගේ අභියාචනා හා විරෝධතා භාර ගෙන දැනට මාස කිහිපයක් ගතව ඇතත් ඒවා විසඳීමට පියවර ගෙන නැතැයි ද එම සංගමය සඳහන් කර තිබේ.

අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළ පරිගණක දත්ත පද්ධතියේ පවතින තාක්ෂණික ගැටලු ඇතුළු තවත් කරුණු කිහිපයක් හේතුවෙන් මෙසේ අභියාචනා හා විරෝධතා පරීක්ෂණ පවත්වා අවසන් කිරීමටත් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට අදාළ ගැටලු විසඳීමට හා අනෙකුත් පැනනැගී ඇති ගැටලු විසඳීමටත් නොහැකි වී තිබෙන බව ද ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය සඳහන් කර ඇත.