ප්‍රේමයත් වෛරයත් අතර වෙනස කෙස් ගහකට සමානයි කියලා සමහරු කියනවා.ඒත්,ප්‍රේමයයි වෛරයයි කියන්නෙ එකිනෙකට හාත්පසින්ම වෙනස් හැගීම් දෙකක්.වෙනස් සංකල්ප දෙකක්.ආශාවක්,තණ්හාවක්,කෑදරකමක් වගේ දෙයක් නම් වෛරයකට පෙරලෙන්න පුලුවන්.ඒත් සැබෑ වූ නිර්මල ප්‍රේමයකට නම් වෛරක්කාරී හැඟීමකට කිට්ටු කරන්නවත් බෑ.

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරයේ
අපේ හමුවීම නොවේ
ප්‍රේමයෙන් කල් ගෙවූ යුවළකට වෙන් වෙන්න සිද්ධ වෙලා.අපි දන්නෙ නැහැ හේතුව මොකක්ද කියලා.”ගැහැණු ළමයි” චිත්‍රපටය නරඹපු අය නම් ඒ හේතුව දන්නව ඇති.හේතුව උවමනාම නැහැ.අද අපිට වැදගත් වෙන්නෙ මේ ගීතයෙන් කියැවෙන ප්‍රේමය.ඒක අදුනාගන්න තරම් වටින ප්‍රේමයක්.
බැලූ බැල්මටම මේක ප්‍රේම ගීයක් නෙවෙයි.විරහ ගීයක්.ඒත් වෙලාවකට විරහව කියන්නෙත් ප්‍රේමයේම තවත් එක් අදුරු වර්ණයක්.
ඇය විරහවට ගොදුරු වෙලා.ඒක මොනතරම් බරලතළ විරහවක් ද කිව්වොත්,ඇය දන්නවා සංසාර ගමනේ කවදාවත් ඇයට නැවතත් ඔහුව මුණ ගැහෙන්නෙ නැහැ කියලා.සංසාරය කියන්නෙ ඇත්තක් ද නැත්තක් ද කියලා කෙනෙකුට සැක සංකා තියෙන්න පුලුවන්.ඒත් අඩුම ගානේ අපි දන්නවා සංසාරය කියන්නෙ සංකල්පයක් විදියට ගත්තම වුණත් කොච්චර දිගු කාලයක්ද කියලා.ඒක මිනිස් මනසකට පරිකල්පනය කරන්න බැරි තරම් දිගු කාලයක්.සංසාරය උපමා කරන්න පුලුවන් සංසාරයටම විතරයි.ඒ තරම් දිගු කාලයකට හමු නොවන වග දැන දැනත් ඇගේ හිතේ මල් පිපිලා.ඔහු වෙනුවෙන්.සබඳකම් බිද වැටුනත් ප්‍රේමය පර නොවන වගයි ඇය කියන්නෙ “ආදර මල් නොමියේ”කියලා.
අතීතයේ මායා රූ කැඩී බිදී යාවී
අනාථ වූ මා දෑසේ කතා නිමා වේවී
අතීතය මායාවක් වගේ දැනෙන නිමේෂයන් ජීවිතයට උදා වෙනවා.ඒ හැම විටකම හිතකට දැනෙන්නෙ සියුම් සන්තාපයක්.සියුම් සංවේගයක්.සියුම් සාංකාවක්.
ඇගේ දෑස් අනාථ වෙලා.දකින්නට ප්‍රිය දසුන ඇයට මුණගැහෙන්නෙ නැහැ.ඉදිරිය පිළිබදව අරමුණක් ඇයට නැහැ.සැලසුමක් ඇයට නැහැ.ඔහුත් මග ඇරුනට පස්සෙ සිහිනයක්වත් දකින්න ඔහුට උවමනා නැහැ.
සබදකමක් බිද වැටුනම ඒ වෙනුවෙන් කදුලින් වන්දි ගෙවන්න වෙන දවස් තියෙනවා.එහෙම දවසකට පෙම්වතියක් කැමතියි ඔහු ඇවිත් ඒ කදුළු පිහිදනව නම්.ඒ දුක අහගෙන ඉන්නව නම්.අඩන්න එපා මැනික කියල කියනව නම්.ඒත් සමහර පෙම්වතියො ඉන්නව ඒ අයිතියටවත් උරුමකම් නොකියන.
කොහොමද එවන් පෙම්වතියක් ඒ තරම් අවාසනාවන්ත වෙන්නෙ.එහෙම පෙම්වතියක් හිතනවා තමන් ගෙ කදුළුවලින් පෙම්වතාගෙ හදවතත් පෙගේවි කියලා.එතකොට ඔහුටත් හිත හදාගන්න බෑ.ඔහුගේම මාවතක නිරවුලින් ගමන් කරන්න බෑ.යහපත් පෙම්වතියක් නම් පෙම්වතා ගෙ ජීවන ගමනට කිසිසේත්ම මාර්ග බාධකයක් වෙන්නෙ නැහැ.ඒ නිසාම කදුළු වසන් කරමින් ඇය හිනාවක් ඇදගන්නවා ලෝකයටම පේන්න.
මගේ කදුළු හංගා-මා සිනාසිසී ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා-සදා සිනාසේවා
මේ විදියට පෙම් වඩන්න හැමෝටම බැහැ.මේක ඇවිල්ලා එක්තරා විදියක ආදර පාරමිතාවක්.මෙහෙම පාරමිතා පුරන්න නම් බෝසත් හිතක් තියෙන්න ඕනා.ගොඩක් වෙලාවට වෙන්නෙ පාරමිතාවේ දීප්තිමත් පහන දල්වනවා වෙනුවට වෛරයේ ගිනිසිළුව අවුළුවා දැමීම.
වෛරය නම් ඇවිලෙන්නෙ එතන තිබිලා තියෙන්නෙ ප්‍රේමය නෙවෙයි.කෑදරකම.තණ්හාව.ඒවා ඇවිල්ලා අපි පිටු දකින්න ඕන මානව චර්යා.අපි ඉගෙන ගත යුත්තේ ආදරය කරන හැටි.අනෙකා ගේ යහපත ප්‍රාර්ථනා කරන හැටි.
එක ගීතයක් තියෙනවා,ඒ ගීතය කාගෙද කියලා මම මෙතන ලියන්නෙ නැහැ.ඒකෙ තියෙන්නෙත් විරහවක්.පෙම්වතිය හැර ගිහින්.පෙම්වතා කියනවා ඔයා ගේ සිනාව දකිද්දි මගේ හිත ගිනි ගන්නවා කියලා.ඒ පෙම්වතාට උවමනා ඇය හඩමින් ඉන්නවා දකින්න.විදවමින් ඉන්නවා දකින්න.ඇගේ ජීවිතය විනාශ වීමෙන් තමයි ඔහු සතුටට පත් වෙන්නෙ.
අන්න එහෙම ගීතවල තමයි මම අර කියපු කෑදරකම,තණ්හාව තියෙන්නෙ.ඒත් මිනිස්සු ලස්සන වෙන්නෙ එහෙම ආදරය කරද්දි නෙවෙයි.මෙන්නනමෙහෙම ආදරය කරද්දි.
අනාගතේ සීනේ නෑ මෙදා සැබෑවන්නේ
මිලාන වූ ආකාසේ අපේ පැතුම් පාවේ
මගේ පැලේ තනි වී මා සුසුම් හෙලන වේලේ
ඔබේ පැලේ හිරු පායා සදා සිනාසේවා
මේ තමයි පරමාදර්ශී ප්‍රේමය.හැමෝටම පරමාදර්ශී ප්‍රේම පාරමිතාව වඩන්න පුලුවන් නම් ලෝකය කදුලින් සුසුමින් මේ හැටි හැඩි වෙන්නෙ නැහැ.
නලින්ද සංජීව ලියනගේ