එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයෙන් කඩුලු 06 විශිෂ්ට ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 344ක් රැස් කළේය. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 122ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 108ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.

පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් හසන් අලී කඩුලු 04ක් බිඳහෙළීය.

අනතුරුව ලකුණු 345ක ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පාකිස්තානය පන්දුවාර 48.2 අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 345ක් රැස් කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කළේය.

පාකිස්තානය වෙනුවෙන් අබ්දුල්ලා ශෆීකියු ලකුණු 113ක් සහ මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 131 රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මදුශංක කඩුලු 02ක් බිඳහෙළීය.